Gossip

”ආදරය ඒ කාලේ කිව්වේ ලිපිවලින්. ඊටත් එහා ගිය ආදර ලිපිත් ලැබුණා”

ගීතයේ පටන් මේ වෙනකොට ඔහු නොහඳුනන්නෙක් නොමැත. බාල, තරුණ, මහලූ, දුප්පත්, පොහොසත් කිසිදු භේදයක් ඔහුගේ රසික පිරිවරෙහි නොමැත. ප‍්‍රයිවට් බස් රථවල, ත‍්‍රි රෝද රථවල, නිවෙස්වල මෙන්ම සුඛෝපභෝගී ඉහළ පැලැන්තියේ වාහන තුළද, ප‍්‍රසංග වේදිකාවේද ඔහුගේ හඬ, ඔහුගේ ගීත අනිවාර්ය සාධකයකි. අද, දිවයින මීවිත සුන්දර 90 කතාබහ ඔහු සමගයි. ඔහු චන්දන ලියනාරච්චි…….

ඔබ අලූත් ගීතයක් සහ වීඩියෝ එකක් කළා නේද?

මෑත කාලේ ගීත හුඟක් කළා. අලූත් ගී පද රචකයින් ගේ ගීත තමයි හුඟක්. ජගත් රත්නායක සංගීතවේදියා ගේ නිර්මාණයක් කළා ”මා මේඛලා” නමින්. මේ ගීතය නව ආරක සංගීතය මුසුවූ නිර්මාණයක්.

ටිකක් ගසල් ගීතයක් වගේ. වේග රිද්ම නොවන (මන්දගාමී* ගීතයක් වුණත් තනුව ලස්සනයි. පද ෂෙහාන් ගලහිටියාව. මගේරූප රචනා ගොඩක් නෑ. නාලිකාවලින් හරි වෙනත් කෙනෙක් හරි කළ රූප රචනා සීමිත ප‍්‍රමාණයක් තමයි තියෙන්නේ. නමුත් මේ ගීතය මගේ ප‍්‍රතිපාදන සහිතව මමම මහන්සිවෙලා කරපු වීඩියෝ එකක්. ඒක අලූත් අත්දැකීමක්. තව සතියකින් වගේ ”මා මේඛලා” නිකුත් කරන්නයි අදහස.

ඔබ අලූත් නිර්මාණකරුවන් සමග නිර්මාණ ගණනාවක් කළා නේද?

දර්ශන වික‍්‍රමතුංග සංගීතවේදියාගේ ගීත ගණනාවක් මෑත කාලයේ ගායනා කළා. මගේ ශෛලිය සහ සුභාවිත ගීත කලාව වෙනුවෙන් ඔහු කරන නිර්මාණ ඉහළ දායකත්වයක් කියලා මං විශ්වාස කරනවා.

මේ කාලයේ තරුණ සංගීතවේදියෙක් විදිහට ඔහු යම්කිසි මෙහෙවරක් කරමින් සංගීත කලාව තුළ ඉදිරියක් නිර්මාණය කරන සහ අමාරු ගමනක් යන සංගීත වේදියෙක්. හොඳ නිර්මාණ කරමින් හෙමින් ගමනක් යන කෙනෙක් විදිහට හඳුන්වන්න පුළුවන්.

ඔහුගේ හොඳ නිර්මාණ ගණනාවක්ම ගායනා කරන්න මට පහුගිය කාලයේ අවස්ථාව ලැබුණා. ඒ අලූත් ගීත කිහිපයක්ම ඉදිරියේදී එළිදක්වන්න නියමිතව තිබෙනවා.

චන්දන ලියනාරච්චිගේ ගීත එකතුව මේ වෙද්දී කොයිතරම් පොහොසත්ද?

මගේ ගීත තුන්සියයකට වඩා ඇති කියලා හිතනවා මෑත කාලයේ ගායන කරපු ගීතත් එක්ක. ඉන් හතලිහක් පනහක් විතර ඇති වඩාත්ම ජනප‍්‍රිය වූ ගීත.

කවදාහරි වෙන රැකියාවක් කරලා තියෙනවද?

මෙහෙමයි ගායකයෙක් වෙනවමයි කියලා ලොකු බලාපොරොත්තුවක් මට තිබුණේ නෑ. තරුණ සේවා සභාවේ සංගීතය ඉගෙනගත්තා. ඒ සංගීතයට තිබුණු ආසාව සහ ආදරය නිසා. පුදුම උනන්දුවකින් කැපවීමකින් ඒ විෂය කළා. ඒ කාලේ බලාපොරොත්තු වුණේ සංගීත ගුරුවරයෙක් වෙන්න.

ඒ දවස්වලම නං බෙල්වුඞ් සෞන්දර්ය නිකේතනයේ බාහිර උපදේශකවරයෙක් වශයෙන් ටික කාලයක් කටයුතු කළා. පස්සේ ප‍්‍රසංග වැඩිවුණාම කාලය කළමනාකරණය කරගන්න එතනිනුත් ඉවත්වෙන්න සිදුවුණා.

ඔබ ක්ෂේත‍්‍රයට ආව කාලය මතකද?

ඒ යුගයේ මට කලින් ජනප‍්‍රිය වුණා ප‍්‍රින්ස් උදයප‍්‍රියන්ත. මට ඔහුගේ ගමන දැක්කම අදහාගන්න බැරුව ගියා. මොකද පුදුමාකාර ජන ප‍්‍රසාදයක් ලැබුණ ඔහුට. ඊට පසුව තමයි මම ජාතික තරුණ සේවා සභාවෙන් මාව ක්ෂේත‍්‍රයට යොමුවුණේ. තරඟකාරීත්වය කියන එක ඒ කාලෙත් තිබුණ. කැසට්, සී ඞී නිකුත් කරපු කාලෙනේ.

කොහොමහරි ජනප‍්‍රිය වෙන්නම ඕන කියලා හිතාගෙන නෙමෙයි මං ගීත ටික කළේ. ජනප‍්‍රියත්වය ටික ටික තමයි නිර්මාණය වුණේ. මුලින්ම රූපවාහිනී මාධ්‍යයෙන් ගීතයක් ප‍්‍රචාරය කරගන්න සෑහෙන උත්සහයක් දැරුවා. එක වැඩසටහනකට ගීතය ගායනා කරලා ප‍්‍රචාරය වෙන දවස බොහොම බලාපොරොත්තුවකින් ආසාවකින් තමයි බලාගෙන හිටියේ. ඒක මගේ ජීවිතේ අමතක නොවන සටහනක් වුණා.

පළමු කැසට් එක, පළමු ප‍්‍රසංගය මතකද?

”සිහින කුමාරියේ” 1994 පළවෙනි කැසට් එක. ඉන් පස්සේ ගීතවලට ජනප‍්‍රසාදය, ජනප‍්‍රියත්වය ලැබුණා. රසිකයන්ගේ ඉල්ලූම ලැබුණා. රසිකත්වය නිර්මාණය වෙන්න ගත්තා. පළවැනි විදෙස් සංචාරය ඩුබායි ගියේ 98 විතර. චන්ද්‍රසේන හෙට්ටිආරච්චි මහත්මයා තමයි මට ඒ සංචරයට අවස්ථාව හදලා දුන්නේ.

අපේ තරුණ සේවා සභාවේ ජ්‍යෙෂ්ඨයෙක් ඔහු. මගේ පළවෙනි ප‍්‍රසංගය වත්තල මාබෝල ප‍්‍රදේශයේ කානිවල් එකක්. ෂා කියලා ඒ කාලේ ජනප‍්‍රිය බෑන්ඞ් එකක් තමයි සංගීතය සැපයුවේ. ඒ බෑන්ඞ් එකේ හිටපු අය දැන් ප‍්‍රසිද්ධ සංගීතවේදීන්. මට මතක හැටියට පුංචි මුදලක් හම්බවුණෙ රු.1500 වගේ.

ඒ කාලේ රසික ආදරය?

රසික ආදරය ඒ කාලේ කිව්වේ ලිපිවලින්. ඊටත් එහා ගිය ආදර ලිපිත් ලැබුණා. සුවඳ තියා, කවි සීපද, පමා වැඩි, ප්‍රේමය ලොව වැනි ගීත ජනප‍්‍රිය වීමත් එක්ක හරියට ලියුම් ආවා. සමහරවෙලාවට මට බලන්න වෙන්නෙත් නෑ. එහෙම වෙලාවට මගේ අක්කලා බලලා ඒවාට උත්තර ලියනවා.

ඒ කාලෙ මාව හොයාගෙන ගෙදරට රසිකාවියන් ආව වෙලාවලූත් තියෙනවා. ඒ වෙලාවට වැඩිහිටියෝ මැදිහත්වෙලා තේරුම් කරලා ආපහු යවනවා ඉතිං. ගීත නිසා ලැබුණු රසික ආදරය එහෙමයි. ඒ කාලේ මගේ පෙම්වතිය හිටියා. ඒ දවස්වල අපි එතරම් පරිණත නැහැ. අත්දැකීම් නැහැ.

ඉතිං පොඩි පොඩි ගැටලූ මත ගැටුම් මතුවුණ වෙලාවලූත් තිබ්බා රසික ආදරය නිසා. ඉතිං කතා බහ කරලා විසඳගෙන ජීවිතේ ඉස්සරහට ආවා, ඒවා ලොකු ප‍්‍රශ්න කරගන්නේ නැතුව. රසික ආදරය ඔවුන්ගේ අදහස් උදහස් කලාකාරයෝ විදිහට අපට අවශ්‍යයිනේ.

යුගන්ති යශෝධරා

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!