Gossip

“මගේ සැමියා හරිම කැමැතියි මම වැඩ කරනවාට. ඉතින් මට එහෙම පැනවුණු සීමා නැහැ. මම, මට සීමා පනවාගෙනත් නැහැ.” – චමත්කා ලක්මිණී

තාරුකා විජේසිංහ.. නුදුරු දිනෙකදි ප්‍රේක්ෂකයන් ඇය හඳුනා ගනිවි. හැබැයි ඇගේ කතාව ඇගෙන්ම අසා දැන ගන්න නම් ඔබට ඇය සොයා යන්න වේවි. ඇය සිටින්නේ ‘හුස්ම‘ තුළය… එනම් සුදේශ් වසන්ත පීරිස්ගේ හුස්ම චිත්‍රපටය තුළය… ඒ තාරුකාට හුස්ම දෙන්නේ නවක රංගන ශිල්පිනියක වන චමත්කා ලක්මිණි ය.

චමත්කා, තාරුකාට හුස්ම දීලා මොකද වුණේ?
තාරුකාත් හොඳින්. මමත් හොඳින්. මගේ වගේම ‘හුස්මටත්‘ හුස්ම හොඳට වැටෙනවා.

ප්‍රතිචාර අහන්න තවම කල් වැඩියි නේද?
පසුගියදාක හුස්ම චිත්‍රපටයේ මාධ්‍ය දැක්ම තිබුණා. ඊට කලින් එක්තරා චිත්‍රපට උලෙළකටත් ‘හුස්ම‘ චිත්‍රපටය පෙන්නුවා. එහිදි චිත්‍රපටයට හා මගේ රංගනයට ලැබුණු ප්‍රතිචාර ඉතා ඉහළයි.

තාරුකා විජේසිංහ ගැන ඔබට මොකද හිතෙන්නේ?
තාරුකා මේ සමාජයේ සැබෑ චරිතයක් නම්, මම ඇයම නම් මටත් ඇයට වු දෙයම අවසානයේ සිදු වේවි.

තාරුකාට හුස්ම දෙන්න ඔබට කොහොමද මං පෑදෙන්නේ?
‘සරුංගල්‘ චිත්‍රපටය එළිදැක්වීමට සුදේශ් අයියත් සහභාගී වුණා. එදා ඔහු ආරාධනා කළා ඔහුගේ චිත්‍රපටයකට සම්බන්ධ වෙන්න.
ඒ වෙලාවේ මම එයට කැමැති වෙන්නේ නැහැ. අපි පිටපතත් අරන් කතා කරමු කියලා එදා මම ඔහුට කියනවා.
පස්සේ දවසක මේ චිත්‍රපටයේ අනෙක් ප්‍රධාන නළුවෝ තුන්දෙනාටයි මටයි හමුවක් තිබුණා. එදා මට තේරුණා මම මේ තුන් දෙනා සහ සුදේශ් අයියා එක්ක වැඩ කරද්දි ඔවුන්ගෙන් මට ලොකු සහයක් ලැබෙයි කියලා. පිටපතත් ඉතා හොඳ තත්ත්වෙක තිබුණා. එය මං හොයපු විදිහේ ස්ක්‍රිප්ට් එකක්.

මෙහි රංගනයෙන් දායක වෙන්නේ නව පරපුරේ දක්ෂ රංගන ශිල්පින් තිදෙනෙක්. ඒ දක්ෂතා අතර ඔබේ දක්ෂතාව තිබුණේ කොතැනද?
පුබුදු, ඉසුරු, දසුන් කියන්නේ රංගනය පැත්තෙන් ඉතාම ඉහළින් ඉන්න නළුවන් තිදෙනෙක්.
ඔවුන් සමඟ වැඩ කරන්න ලැබීමම මට ලැබුණූ භාග්‍යයක් හා ලොකු සතුටක්. මේ චරිතයට පන පොවන්න ඔවුන්ගෙන් මට විශාල සහයෝගයක් මඟපෙන්වීමක් ලැබුණා.
පුබුදු, ඉසුරු අයියාගෙන් රංගනය ගැන ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. දසුන්ගේ තියෙන්නේ වෙනම ශෛලියක්.

ඒ සහයෝගයත් එක්ක මේ චිත්‍රපටයට ඔබ දුන් දායකත්වය පිළිබඳ සෑහීමකට පත් වෙනවාද?
අනිවාර්යයෙන්ම. මං මගේ උපරිම දායකත්වය, උපරිම රංගන හැකියාව මේ චරිතයට ලබා දුන්නා. එය මේ චිත්‍රපටය නරඹන ප්‍රේක්ෂකයන්ටත් පැහැදිලි වේවි.

ඒ වෙනුවෙන් ඔබ කොපමණ කාලයක් කැපවීම්, පුහුණු වීම් කළාද?
මේ චරිතය ටිකක් අමාරු, බැරෑරුම් චරිතයක්. චිත්‍රපටයේ හරි අඩක්ම මම මැරුණු කෙනෙක්. ඒ චරිතයට අදාළ ගොඩක් දේවල් මම ක්‍රමයෙන් ඉගෙන ගත්තා.

ඔබ කලා ක්ෂේත්‍රයට පිවිසෙන්නේ මෝස්තර නිරූපිකාවක් ලෙස. ඒ භූමිකාව දැන් වෙනස් වෙලාද?
මේ වෙද්දි නිරූපණ කටයුතු, ටෙලි නාට්‍ය, වෙළෙඳ දැන්වීම්වලට පෙනී සිටීම හරිම අඩුයි.
අවුරුද්දටම එක චිත්‍රපටයක රඟපාලා ගෙදර ඉන්න පුළුවන් තත්ත්වෙකයි මම ඉන්නේ. මෙය මගේ රස්සාව සහ විනෝදාංශය යන දෙකම. මේකෙන් මම හම්බ නොකරනවා නෙමෙයි. නමුත් රංගනයෙන් මට ලොකුවට මුදල් ඉපැයීමේ ආසාවක් නැහැ.
එක හොඳ වැඩක් කරලා ගෙදරට වෙලා ඉන්න තිබ්බා නම් මට ඒ ඇති. මේ ක්ෂේත්‍රයේ මට පුළුවන් තාක් කල් රැඳේවී. හැබැයි බදාගෙන වැඩ කරන්න කැමැති නැහැ. වසරකට එකක් තෝරා ගන්න තරම්.

ඇරියුම් ඔබට එනවා කියලද කියන්නේ?
ඕනෑතරම් ඇරියුම් තිබෙනවා. හැබැයි ලැබෙන හැම පිටපතම ඕකේ කරන්න මම කැමැති නැහැ.
තෝරා ගත් ෆිල්ම්ස්වලට විතරයි මම දායකත්වය දෙන්නේ. මේ චිත්‍රපටයේ දකින මාව නෙමෙයි ඊළඟ චිත්‍රපටයේ දකින්නේ. මම බොහොම තෝරා ගැනීම් එක්ක වැඩ කරන කෙනෙක්. හැබැයි මගේ රංගනයට සීමා නැහැ.

මේවා ඔබ ඔබටම පනවා ගත් සීමාද?
පැනවු සීමාද?
මගේ සැමියා හරිම කැමැතියි මම වැඩ කරනවාට. ඉතින් මට එහෙම පැනවුණු සීමා නැහැ. මම, මට සීමා පනවාගෙනත් නැහැ. මම සීමා නැතිව වැඩ කරන කෙනෙක් බව මා එක්ක වැඩ කරන අධ්‍යක්ෂවරු දන්නවා.

ඒ කියන්නේ ඔබ විවාහකයි?
ඔව් නේ..

සාමාන්‍යයෙන් මේ ෆීල්ඩ් එකට ආපු අලුත නොකියන රහසක් ඔබ කිවුවා?
මම හිතන්නේ එය සැඟවිය යුත්තක් නොවිය යුතුයි කියලා.

මොන ප්‍රතිචාර ලැබුණත් ඕනෑම විලාසයක රංගනයේ යෙදෙන්න ඔබ එකඟයි?
අනිවාර්යයෙන්ම. මේක කොහොමත් විවේචනයට ලක් වෙන ක්ෂේත්‍රයක්.

සිනමාවේ දිගු ගමනක් යන්න නම් රංගනයේ ගැඹුරු හැදෑරීමකුත් අවශ්‍ය වේවි?
මම දැනටමත් රංගනය, අධ්‍යක්ෂණය, සංස්කරණය සහ ශබ්ද පරිපාලනය ගැන ජාතික චිත්‍රපට සංස්ථාවේ උපාධිය කරන ගමන්.

සිනමාවේ සහ හෙට දවසේ ඔබේ ඉලක්ක?
මම මැරෙනකල් සිනමාවේ රැඳෙන්න හරිම කැමැතියි. රංගනය පිළිබඳ ඉගෙන ගනිමින් සිනමාවේ රැඳෙන්න හදන කෙනෙක්. රංගනයට උඩින් කඩා පාත් වූ කෙනෙක් විඳිහට ලේබල් වෙන්න මම කැමැති නැහැ. එනිසාම මොන බාධක ආවත් මම සිනමාවේ රැඳේවී.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!