Gossip

බබෙක් ඉන්න නිසා මට අමාරුයි තනියම හැමදේම කර ගන්න – කැරොලින් ලූසී ඈන් ජූරි

ලෝක විවාහක රූ රැජින කිරුළ තම ශීර්ෂය මත පැළඳ ගනිමින් වසර 35 කට පසුව ශ‍්‍රී ලාංකීය නාමය ලෝකය ඉදිරියේ බබලවා තබන්නට ඇයට හැකියාව ලැබුණි. ඒ ඇගේ රූමත් බවත්, දක්ෂතාවත් එක ලෙසම පෙන්වූ නිසාය. ඇමෙරිකාවේ ලාස්වේගාස් හිදී ලෝක විවාහක රූ රැජින කිරුළ කැරොලින් ලූසී ඈන් ජූරි දිනා ගැනීමෙන් පසු ඊළඟ දිනයේ දී අන්තර්ජාලය ඔස්සේ ජනතාව වඩාත් සොයා ඇති රාජ්‍යය බවට ශ‍්‍රී ලංකාව පත් ව ඇත. මේ අනුව වසරක් පුරාවට ලෝකයේ සුන්දරම විවාහක කාන්තාව ජීවත් වන්නේ මේ ලක් දෙරණ මතය. අභිමානවත් ලෙස ජාත්‍යන්තර කාන්තා දිනය සමරන මොහොතේ කතාබහ කරන්නට සුදුසුම කාන්තාව ඇය වන්නේ ඒ නිසාය.

‘‘ලෝක විවාහක රූ රැජන කිරුළ දිනා ගැනීමෙන් පසුව වැඩ ගොඩක් තියෙනවා මට කරන්න. මේ දවස්වල ඒ වැඩවලට සූදානම් වෙමින් ඉන්නවා. ඒ අතරින් සමාජ සේවා වැඩ විශේෂයි. ඒත් එක්කම සන්නාම තානාපතිනිය ලෙස සන්නාම කිහිපයක වැඩ කරන්නත් මට ආරාධනා ලැබුණා. මම විවාහක කාන්තාවක් නිසා බබාගෙ වැඩයි, හස්බන්ඞ්ගෙ වැඩයි මේ සේරම එක්ක මේ වැඩත් වෙලාව හදාගෙන කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ළඟදීම මගේ BU කැම්පේන් එක දියත් කරන්නත් බලාපොරොත්තු වෙනවා.’’ මෙලෙස කැරොලින් ජූරි ලෝක විවාහක රූ රැජින සමග කතාබහ ආරම්භ කළේ රමණී ප‍්‍රනාන්දු මහත්මියගේ සොඳුරු නිවහනේදීය.

ශ‍්‍රී ලාංකිකයන්ගෙන් ඔබට ලැබෙන ප‍්‍රතිචාර කොහොමද?

මට හොඳ ප‍්‍රතිචාර ලැබෙනවා. කිරුළ දිනා ගැනීමෙන් පසුව ශ‍්‍රී ලංකාවට පැමිණි මොහොතේ සිට අද දක්වා මට උණුසුම් පිළිගැනීමක් ලැබුණා. ඒක මට සතුටක්.

කැරොලින් ඔබ, බබාගෙ වැඩකටයුතුවලට මුල් තැන දෙන්නෙ කොහොමද?

මම ලෝක විවාහක රූ රැජන වුණත් ගෙදර දී මගේ සැමියට මම එයාගෙ සාමාන්‍ය බිරිඳ, මගේ බබාගෙ අම්මා. නිවසේ දී මම සාමාන්‍ය ගැහැනියක්. ඒ නිසා බබාගෙ වැඩයි හස්බන්ඞ්ගෙ වැඩයි මගේ අතින් කරන්න ඕනෙ කියලා මම දන්නවා. මම වැඩවලට එළියට ගියාම මගේ අම්ම සහ හස්බන්ඞ්ගෙ අම්මා බබාව බලනවා. ගොඩක් වෙලාවට මමයි මගේ හස්බනුයි වැඩවලට එකට එළියට යන්නෙ. ඒක මට පහසුවක්. කොච්චර කාර්යබහුල වුණත් මගේ බබාට කාලය දෙන එක මට අමාරු නැහැ.

ඔබේ දරුව ගැන වැඩියමක් පැවසුවොත්?

මට ඉන්නෙ දියණියක්. ඇය එලීසා කැරොලින් වීරසිංහ. අවුරුදු 02 මාස 02 යි. හරිම හුරතල්.

දියණියටත් ඔබට මෙන්ම කැරොලින් නම දැම්මෙ ඇයි?

එයා මගේ පළමු බබා. මගේ අම්මත් එයාගෙ නම මගේ අක්කිට දාල තිබුණා. ඒ නිසා මටත් ඕන වුණා කවද හරි දවසක දුවෙක් ලැබුණොත් ඒ විදියටම මගේ නම කොටසක් ඇයට දාන්න.

කැරොලින් කරන විලාසිතා එලීසත් කරනවද?

සමහර වෙලාවට මම මේක්අප් දානකොට එයා ඒව හොඳට බලාගෙන ඉන්නවා. මගේ මේක්අප් අරගෙන එයාගෙ මූණෙ ගා ගන්නවා. ඒව මම එපා කියන්නෙ නැහැ. ඒ අත්දැකීම ගන්න දෙනවා. ලිප්ස්ටික් එහෙම ගාන්නෙ හරි ආසාවෙන්. පොඩි ළමයින්ට ආස දේවල් කරන්න නිදහස දෙන්න ඕන. අපි මඟ පෙන්වන්න ඕනෙ. එතකොට එයාල සතුටු වෙනවා. දේවල් ඉගෙන ගන්නවා. මම ඒවා එලීසගෙන් දකිනවා.

සැමියගෙන් මොනවගේ සහයෝගයක් ද ඔබට ලැබෙන්නෙ?

හස්බන්ඞ්ගෙන් සීයට සීයක්ම සහයෝගය නොලැබෙන්න මට අද මේ තැන ඉන්න බැහැ. මට ආරක්ෂාව, සහයෝගය උපරිමයෙන් දෙන්නෙ එයා. සමහර වෙලාවට ගෙදර වැඩ ගැනත් බලනවා. කෑමත් උයනවා. ලෝක විවාහක රූ රැජින ලෙස ඉදිරියට යන්න හස්බන්ඞ්ගෙ සහයෝගය මට හරියට වැදගත් වෙනවා. විශේෂයෙන්ම බබෙක් ඉන්න නිසා මට අමාරුයි තනියම හැමදේම කර ගන්න. මම හරිම වාසනාවන්ත කාන්තාවක්.

කැරොලින්ගෙ පවුලෙ ඉන්නෙ කවුද?

අම්මයි, තාත්තයි, අයියල දෙන්නයි, අක්කයි, නංගියි. අපි ඔක්කොම පස්දෙනයි. මගේ අම්මට සහ තාත්තට ස්තූති කරන්න ඕනෙ මාව මේ ලෝකෙට බිහි කළාට. මගේ අම්මා බොහොම ආගමට ලැදි කෙනෙක්. ඇය නිතරම මම වෙනුවෙන් යාඥා කරනවා. ඒ ආශිර්වාදය මට හැමදාම තියෙනවා. ඒ වගේම මගෙ හස්බන්ඞ්ගෙ පවුලෙ අය මට හැමදේකටම උදව් කරනවා. එයාල මට දෙවැනි අම්මයි තාත්තයි වගේ. අපි පවුලක් වශයෙන් හරිම සමගියෙන් ඉන්නවා.

කැරොලින්ට පුංචි කාලෙ ඉඳලා ආසාවක් තිබුණද රූ කිරුළක් හිසේ දරා ගන්න?

ඔව්. පුංචි කාලෙ ඉඳලා මම හරි ආසයි මොඞ්ලින් කරන්න. පුංචි කාලෙදිත් ලස්සනට ඇඳලා කණ්ණාඩිය ඉස්සරහට ගිහිල්ලා කැට් වෝර්ක් දානවා. ඇත්තටම කිව්වොත් ඒක මගේ විනෝදාංශයක් වගේම දක්ෂතාවක්. විවාහයට කලින් මම මොඞ්ලින් කළා. ඒ බ‍්‍රයිඩල් ෂෝස්වල. ඊට පස්සේ මම රට ගියා. නමුත් සිහිනය බොඳ වුණේ නැහැ. මම හැමදාම හිතුවා වයසට යන්න කලින් රූ කිරුළක් දිනා ගන්නවා කියලා. මම ඒක කළා.

ඔබ වෙන විදියකින් කියන්නෙ කාන්තාවකට සිහින සැබෑ කර ගත හැකි බව ද?

අනිවාර්යයෙන්ම. ඒකට වයස වැදගත් නැහැ. වයස ඉලක්කමක් විතරයි. විවාහ වුණා ද නැද්ද වැදගත් නැහැ. අපි දැන ගන්න ඕනෙ සිහින තවදුරටත් සිහිනයක් නොවන්න වැඩ කරන්න. කාන්තාවකට සිහින සැබෑ කර ගන්න පුළුවන්.

හරින්දි ලියනගේ

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!