Gossip

ආදරයට වඩා ආරාධනා ලැබෙන්නේ සෙක්ස්වලට – භූමි

භූමිගේ උප්පැන්න සහතිකය, ජාතික හැඳුනුම්පත සහ ගුවන් ගමන් බලපත්‍රය තියෙන්නේ කුමුදු නමටද? භූමි නමටද?
භූමි නමට ඒ හැමදෙයක්ම ලබාගන්න මම දැන් ඉල්ලලා තියෙන්නේ.

සංක්‍රාන්ති ලිංගික සංක්‍රාන්තිකයන් විදිහට ඔබලා මුහුණදෙන පොදු ප්‍රශ්න මොනව
සම්ප්‍රදායික සමාජයක් ඇතුළෙ දශමයකින් හෝ වෙනස් වෙන්නට හදන එකම ඕනෑම කෙනෙකුට අභියෝගයක්. මේක රාමුගත සමාජයක්. රාමුවෙන් එහාට අඩියක් හරි තියන්න හදන හැමකෙනෙක්ම මොකක් හෝ හිංසනයකට ලක් වෙනවා. අපි වගේ හුඟක් අයව ගෙවල්වලින් එලවලා දානවා. කුලියටවත් නවතින්න තැනක් දෙන්න කිසිකෙනෙක් කැමති නෑ. පාසල්වලදී කොන් කරනවා… අපිව ප්‍රසිද්ධියේ ආශ්‍රය කරන්න යාළුවෙක් නෑදෑයෙක් කියලා හඳුන්වලා දෙන්න කවුරැත් කැමති නෑ. රස්සාවක් දෙන්න කවුරැත් කැමති නෑ. මිනිස්සු හුඟක් අය හිතන්නේ අපි පිරිමින්ට ලිංගික තෘප්තිය ලබාදීම පිණිස පමණක් ඉන්න නපුංසක කොටසක් කියලා. රස්සාවක් නැතිකමටම හුඟක් ලිංගික සංක්‍රාන්තිකයන් අද ගණිකාවන් ලෙස ජීවත්වෙන්න සල්ලි හොයනවා.

ඔබ වැනි අයට මේ සමාජය තුළින් ලැබෙන සමාජ සුරක්ෂිතතාවයක් තියෙනවද?
නැහැ. මේ සමාජයෙන් අපිට හුඟක් වෙලාවට ලැබෙන්නේ කෙල්ලෝ කොල්ලෝ, නපුංසකයෝ, පොන්නයෝ, බඩුව, පිරිමි ගෑනු කියන නින්දා සහගත ආමන්ත්‍රණ විතරයි.

ඔබ ලිංගික හිරිහැරවලට ලක්වී තියෙනවද?
නැහැ. ඒත් මගේ යාළුවන් එවැනි හිංසනවලට ලක්වී තියෙනවා. ඇඟේ තියෙන ලිංගිකත්වය මොකක්ද කියන එක අනුව මිනිස්සු පාච්චල් කරන හිංසනයකට ලක්කරන සමාජයක සමහරු අපෙන් අහනවා ඇඟේ අමාරැවටද පිරිමිකම වෙනස් කරගත්තේ කියලා. වරක් මගේ යාළුවෙකුට හිරිහැරයක් වෙලා පැමිණිල්ලක් දාන්න පොලීසි ගියාම එයාට කීවේ මොකක්ද? පද්දා පද්දා නලවා නලවා ඇස් කරකවා කරකවා ඉන්නවනේ. උඹලා පිරිමිවෙලා ඉපදිලා පිරිමි වෙලාම හිටියනම් ඉවරයිනේ. ඔය වගේ ගෑනුවෙලා පිරිමි ජාතියටත් ලජ්ජා කරන නිසා තමා උඹලට ඔහොම වෙන්නේ. නීතියේ පිහිට ඉල්ලගෙන යන වෙලාවක අපට ලැබෙන්නේ ඔහොම උත්තරනම් මොකක්ද අපිට තියෙන සමාජ සුරක්ෂිත බව. හුඟක් අය හිතන්නේ අපි ඊසි කැච් එකක් කියලා.

ඔබම කියූ විදිහට සමාජය ඔබ වැනි අයට පොන්නයෝ කියද්දී හිත රිදුණේ නැද්ද?
ඉස්සර හුඟක් හිත රිදුණා. දැන් ගාණක්වත් නෑ. මම දැන් මම වගේ එවුන් වෙනුවෙන් පෙනී ඉන්න අරගල කරන ගෑනියක්. මට හැංඟුණ ජීවිතයක් නෑ. සමහරු මට බණිනවා දුක විකුණලා ප්‍රසිද්ධිය හොයනවා කියලා. නෑ මම ප්‍රසිද්ධිය නෙවෙයි හොයන්නෙ. අපිට වෙනස්කමකින් තොරව සලකන හෙට දවසක් හොයන්නේ. මට ඕන මම වින්ද දුක්ඛිත අත්දැකීම් කාටවත් විඳින්න නොදෙන්න. මගේ අරගලය ඒ වෙනුවෙන්. මම දැන් සමාජයේ මම විදිහට ජීවත් වෙන්න බය නැති ගෑනියක්.

ඔබ වැනි අයට පොන්නයෝ කියන සමාජයෙන් ඔබට ආපසු හැරී අහන්න ප්‍රශ්නයක් තියෙනව
ඔව්. මට කියන්න මේ සමාජය පොන්නයා කියන ආමන්ත්‍රණයට දෙන අර්ථකථනය මොකක්ද කියලා. ඒකට අර්ථකථනයක් නෑ. පාර්ලිමේන්තුවේදීත් ඔය වචනේ කියවෙනවා. එතන ලිංගික සංක්‍රාන්තිකයන් නෑනෙ…. ගෑනිට පොල් ගාලා දෙන මිනිහටත් පොන්නයා කියනවා. වලියට යන්නේ නැති, බොන්නේ නැති, සූදු කෙලින් නැති, ගෑනු පස්සේ යන්නේ නැති රුවුල වැවෙන්නේ නැති මිනිහටත් පොන්නයා කියනවා. එහෙව් සමාජයක් අපිටත් පොන්නයෝ කියනවනම් ඇයි හිත රිද්දා ගන්නේ….

භූමිගෙන් ආදරය ඉල්ලගෙන පිරිමි හුඟදෙනෙක් එනවද?
කෙළින්ම සහ ව්‍යංගයෙන් ආදරයට වඩා ඇරයුම් ලැබෙන්නේ සෙක්ස්වලට.

භූමි දැන් පෙම්වතියක්ද?
ඔව්.

හතර වසරේ ආදරය ඇරුණම මේ වෙද්දී කී දෙනෙක්ට ඔබ ආදරය කළාද?
තුන් දෙනෙකුට ආදරය කළා… ඒත් ඒ එක ආදරයක් ඒක පර්ශ්වීයයි.

ඇයි එහෙම කියන්නේ?
2006 අවුරැද්දේ ඉඳන් 2012 වෙනකම් මම එයාට ආදරේ කළා. ඒත් එයා ආදරේ කළේ මට විතරක් නෙවෙයි. අදට වඩා එදා මම හුඟක් සම්ප්‍රදායිකයි. ඒ නිසා එයාගේ සෙල්ලක්කාරකම මට දරාගන්න හුඟක් අමාරු වුණා. ඒ ආදරය නිසා මම හුඟක් විඳෙව්වා. රූ එකහමාර විතර වෙනකම් මම ඇහැරිලා. මට නින්ද යන්නේ නෑ. මම අඬන්නෙත් නෑ. කල්පනා කරන්නෙත් නෑ. ඒත් මම විඳවනවා.

දැන් පෙම්වතා එක්ක ආදරය විඳිනවද?
අපි හුඟක් ආදරය විඳිනවා. ඒත් ප්‍රසිද්ධියේ අපි මුණගැහෙන්නේ නෑ.

ඇයි ඒ?
විවෘතව අපි දිහා නොබලන සමාජයක් ඉස්සරහට ප්‍රසිද්ධියේ ගියොත් මිනිස්සු කියන දේවල් මට දරාගන්න පුළුවන් වුණාට එයාට ඒවා දරාගන්න බැරි වුණොත් මට ඒ ආදරයත් නැතිවෙයි කියන බයට.

එයත් එක්ක කවදාවත් විවාහ වෙන්න සිතුවිල්ලක් නැද්ද?
අපි දෙන්නා කවදාවත් විවාහයක් ගැන කතා නොකරයි ආදරය කරන්නේ. විවාහය ගැන කතා කරන එක ප්‍රායෝගික නෑ කියලා මම දැන් හිතනවා. මගේම කියලා ප්‍රේමවන්තයෙක් දරුවෙක්, පවුල් ජීවිතයක් ගැන මාත් හීන දැක්ක කාලයක් තිබුණා. ඒ හීනවලින් පවුල් ජීවිතයක් කියන කෑල්ල මම අයින් කරලා දැම්මා. හීනවල හැඩ වෙනස් වෙනවා. දැන් තියෙන හීනය ප්‍රේමවන්තයෙක් දරුවෙක් සහ නිදහස් ජීවිතයක්.

කාන්තා යටඇඳුම් ගන්න යද්දී, රෑපලාවන්ය කටයුතු කරගන්න යද්දීත් සමච්චලේට අපහාසෙට ලක් වෙනවද?
කාන්තා යට ඇඳුම්, විතරක් නෙවෙයි උඩ ඇඳුම් ගන්න යද්දීත් සමහර වෙලාවට සමහර අය අපිට සමච්චල් කරනවා. මම නම් ඒවා සතේකට ගණන් ගන්නේ නෑ. බණින්න ඕන තැනක නම් බැණලා එනවා. සැලූන්වල නම් හුඟක් ඉන්නේ සංක්‍රාරාන්තික ලිංගිකයන් සහ සම සෙනෙහස් පුද්ගලයන්. මම යන්නේ කොහොමත් මගේ යාළුවන්ගේ සැලූන්වලට. එයාලා භූමිට හරි ආදරෙයි.

ඔබ සිනමාපට ගණනක රඟපෑ නිළියක් බව අපි අහලා තියනවා. ඔබ රඟපෑ ෆ්රෙන්ජිපානි චිත්‍රපටය භූමි නිළියක් නොකර නළුවෙක් කළේ ඇයි?
මම කරපු පළමු පිරිමි චරිතය ඒක. ඊට ඉස්සර මම වාර්තා චිත්‍රපට විසිපහක විතර රඟපාලා තියෙනවා. ඒත් මම හිතන්නේ නෑ මට නැවත චිත්‍රපටයක රඟපාන්න ලැබෙයි කියලා.

ඇයි ඒ?
ඊට පසු මට චිත්‍රපට කිහිපයකටම කතා කළා. ඒ හැම චරිතයක්ම අපිව හෑල්ලු කරන චරිත. මම මොකටද මානව හිමිකම් ගැන කතා කර කර මම වගේ අයට අපහාස වෙන චරිත රඟපාන්නේ.

කොහොමද ෆ්රෙන්ජිපානි චිත්‍රපටයට ලැබුණ ප්‍රතිචාර?
ඒක ආදරයේ ප්‍රජාතාන්ත්‍රිකකවාදය ගැන කතා කරන චිත්‍රපටයක්. ඒත් හුඟක් අය ඒක ප්‍රසිද්ධියේ අගේ කරන්න කැමති නෑ. ගේ – ලෙස්බියන් කියන ලේබල් වදියි කියන බයට.

භූමිගේ විනෝදාංශ මොනවද?
සින්දු කියනවා. නටනවා. චිත්‍රපට බලනවා. හොඳ පොතක් අතට ගත්තොත් මට කියවලා ඉවරවෙනකම් නින්ද යන්නෙත් නෑ. කවි ලියන්නත් ආසයි. ඒත් ඒකට වෙලාවක් හොයාගන්න අමාරැයි.

ජෝතිශ්‍ය ඔබ විශ්වාස කරනවද?
ටිකක්… සීයට පනහක් විතර… මගේ ලග්නය මීන… ඒක අම්මා හදවපු කේන්දරේ. ඒත් මගේ කේන්දරේ බලපු කවුරුත් කීවේ නෑ මම පිරිමියෙක් විදිහට ඉපදිලා ගැහැනියක් වෙනවා කියලා.

භූමිට ආගමක් තියෙනවද?
මම බෞද්ධ දර්ශනය විශ්වාස කරනවා. ඒත් අදහන්නේ කාලි මෑණියන්ව.

ඇයි ඔබ කාලි මෑණියන් අදහන්නේ?
ඇය රණශූරියක්. ඇය යුද්ධයට – යුක්තියට අධිපති දෙවඟන. ඇය වීර්යයට – ධෛර්යයට අධිපති දෙවඟන. මම කැමතියි ඇගේ යුදකාමී පෞරැෂත්වයට. පුංචි කාලෙ සිටම මට ඇයත් එක්ක ආත්මීය බැඳීමක් තිබුණා.

භූමිට භූමිගේ අම්මා කතා කරන්නේ කොහොමද?
එදා වගේම පුතූ කියලා… ඒත් වෙලාවකට එයාගේ මූඩ් එකත් එක්ක ආමන්ත්‍රණයත් වෙනස් වෙනවා.

අම්මා දුව කියලා කතා කරනවට කැමති නැද්ද?
මට ඒක කොහොම වුණත් කමක් නෑ. දැන් දුවලටත් පුතා කියලා කතා කරනවනේ. අම්මා හැමදාම මාව එයාගේ දරුවෙක් විදිහට පිළිගත්තොත් මට ඒ ඇති.

අදටත් පිරිමි අංක එක කියලා හිතන, පිරිමින්ට මූලිකත්වය දෙන සමහරවිට ගෑනුන්ට පාරක යන්න නිදහසක් නැති, ගෑනුන්ව පාච්චල් කරන හිංසා කරන ආසියානු රටක, පුරැෂෝත්තමවාදී සමාජයක පිරිමියෙක් විදිහට ඉපදුණ ඔබ ඒ පිරිමි බව ප්‍රතික්ෂේප කරලා ඇයි ගැහැනියක් වෙන්න හිතුවේ?
මේ සමාජය කියනවා පිරිමි වෙලා ඉපදෙන්නේ පින්කරපු අය ගෑනුවෙලා උපදින්නේ පව් කරපු අය කියලා. ඒත් වැඩි වශයෙන් අපරාධ කරන්නේ පිරිමි. ගෑනුන්ව හිංසනයට ලක් කරන්නේ පිරිමි. පිරිමිකම පිනට ලැබුණ දෙයක් නම් ඇයි පිරිමි ඒ පිරිමිකම වැඩි වශයෙන් අවලං වැඩවලටම පාවිච්චි කරන්නේ. පිරිමියෙක් ලෙස ඉපදී ගැහැනුකම හොයාගෙන ගිය මම සමාජයට අනුව ඩබල් පව්කාරියක්. ඒත් මට ඒ කිසිදෙයක්, කිසිම සමාජ විග්‍රහයක් වැඩක් නෑ. මට වටින්නේ මගේ ආත්ම තෘප්තිය සහ හෘදසාක්ෂිය.

භූමි කියන මානව හිමිකම් ක්‍රියාකාරිනිය නෙවෙයි භූමි කියන ගැහැනුකම සොයා ගිය ගැහැනිය, භූමි කියන පිරිමිකම අත්හල ගැහැනිය මොනවද මේ සමාජයෙන් ඉල්ලන්නේ?
අපි හැමෝම මිනිස්සු. මේ ලෝකය මේ තරම් ලස්සන වුණේ විවිධත්වය නිසා. ඒ විවිධත්වය ආදරයෙන් පිළිගන්න. ඊට ගරැකරන්න. මම ලිංගික සංක්‍රාන්තිකයෙක් කියලා වැස්ස මට වහින්නේ නැතුව මගේ වටේට වහින්නේ නෑ. මාව මඟහැර සුළඟ හමන්නේ නෑ. සොබාදහම එයාගේ තුරුල්ලේ ඉන්න සියලු මානවයන්ට එක හා සමානව සලකනවා නම් ඇයි මේ ලෝකයේ ඉන්න මිනිස්සුන්ට සියල්ල දෙස මානුෂිකව බලන්න බැරි. පුද්ගලයෙක්ගේ ලිංගික අවයවය මොකක්ද කියන කාරණය උඩ මිනිස්සු විනිශ්චය කරන්න එපා. මම මේ ලෝකෙන්ම ඉල්ලන්නේ එච්චරයි.

උපුටා ගැනීමකි

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!