Gossip

මගේ දිමුතුව අමානුෂික විදිහට මරලා දැම්මා, මගේ දරු දෙන්නත් එක්ක මම තනිවුණා

ඉකුත් ජුනි මස විසි හත්වැනිදා රාත්‍රියේ බදුරලිය පොලිසියට පැමිණි කාන්තාවක් හඬා වැළපෙමින් කියා සිටියේ සිය නිවෙස අසළ පදිංචි පිරිසක් තම ස්වාමියාට පහරදුන් බවත් ඔහු තුවාල ලබා සිටියදී රෝහල් ගත කළ බවත්ය. සිද්ධිය ගැන වැඩිදුරටත් පවසා සිටි ඇය සැමියාට පහර දුන් පිරිසගේ නම් ගම් ද පොලිසියට කීවාය.

ඉන් අනතුරව පොලිසිය වෙත ලැබුණු තවත් පණිවිඩයකින් කියැවුණේ තුවාල ලබා රෝහලට ඇතුළත් කර සිටි එම පුද්ගලයා මියගිය බවය. සිද්ධියෙන් මියගොස් තිබුණේ පැල්පොල කෙලින් කන්ද ප්‍රදේශයේ පදිංචි දිමුතු සුරංග නමැති තිස් හැවිරිදි දෙදරු පියෙකි. ඔහුගේ එක් දරුවකුගේ වයස අවුරුදු 8 කි. අනෙක් දරුවාට වයස අවුරුදු දෙකකි.

සිද්ධිය සැලවීමත් සමඟ එතැනට ගිය බදුරලිය පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායම සැමියාට පහරදුන් බව කියමින් පැමිණිලිකාරිය විසින් ලබාදුන් නම් ගම් සහිත පුද්ගලයන් 11 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

මිය ගිය දිමුතු සුරංග පෞද්ගලික විදුලි බලාගාරයක කම්කරුවකු ලෙස සේවය කරන්නෙකි. එම බලාගාරය අයගම පොලිස් වසමේ ගෙඳගල පිහිටා ඇති අතර මොහු පදිංචිව සිටින්නේ බදුරලිය පොලිස් වසමට අයත් පැල්පොල ප්‍රදේශයේය. දිමුතු පොලිසිය හා සමීපව සම්බන්ධකම් ඇති අයෙකි.

දිමුතු සේ්වය කරන විදුලි බලාගාරයට යන පාර පිළිබඳ කිසියම් ආරවුලක් පැන නැගී තිබිණි. මෙහිදී දිමුතු විදුලි බලාගාරය හිමිකරුවන්ගේ පැත්තේ සිටින බව ගමපුරා කිසියම් මතයක්ද ගොඩනැගී තිබේ. පාරේ ප්‍රශ්නය නිසා විදුලි බලාගාරය වෙත ගමෙන් එල්ල වුයේ දැඩි විරෝධයකි. එය නතර කරන්නට ඔවුහු මහත් උත්සාහයක් දැරූහ. දිමුතුගේ මැදිහත් වීම නිසා එය කරගත නොහැකි බවට ගමේ සෙසු පිරිස අතර ද කතාබහක් ද ඇතිවිණි.

විදුලි බලාගාරය අවට රක්ෂිතයේ ගස් කපා විකිණීමේ යෙදෙන බවට චෝදනාවක්ද දිමුතුට එල්ල වූයේ ඔය අතරය. එහෙත් පොලිසියට ඒ සම්බන්ධ පැමිණිල්ලක් නොලැබිණි. මෙම කතාව කේලමක් ලෙස ප්‍රචාරය කළේ කාන්තාවක් බවට තොරතුරු ලැබීම නිසා දිමුතු එම කාන්තාවට පහරදීමේ සිද්ධියක් ගැන ද කතාවක් තිබුණ ද ඒ පිළිබඳව ද පැමිණිල්ලක් නොවීය. එහෙත් මේ පහරදීම මුල්කරගෙන අසල්වාසින්ගේ හා දිමුතු අතර ඇති වූ බහින්බස් වීම් පසුව ආරවුලකට පෙරළීමෙන් දිමුතුට මරණය සිදුවී ඇතැයි පොලිසිය කියයි.

විදුලි බලාගාරයේ සේවකයන්ට සමහර දිනවල ආහාර සැකසෙන්නේ දිමුතුගේ නිවෙසෙනි. දින පහළොවක් බලාගාරයේ කම්කරු රැකියාව කරන ඔහු ඉතිරි පහළොව වෙනත් රැකියාවල යෙදේ. බලාගාරය හොඳින් බලාගැනීම ඔහුගේ කාර්යයයි.

“මේ ළඟදී මාකොළ ඇල්ලට නාන්න ආව දොස්තර මහත්තයෙක් ඇලට වැටිලා මැරුණා. ඒ වෙලාවෙදී මේ මනුස්සයා රෑ එළිවෙනකම් ගිනි මැලයක් ගහගෙන ගමේ මිනිස්සුත් එක්කාසු කරගෙන දොස්තර මහත්තයාගේ මළ සිරුර සොයාගන්න පොලිසියට ලොකු සහයක් දුන්නා”

මාකොළ ඇල්ල පොලිසියේ නිලධාරියකු දිමුතු ගැන එසේ කියන්නට විය.

පහර දීමෙන් දිමුතුගේ දෙපා වලට කැපුම් තුවාල තිබු අතර ඉන් අධික ලෙස රුධිරය වහනය වීම මරණයට හේතුව බව නිගමයන විය. මතුගම වැඩබලන මහේස්ත්‍රාත් ප්‍රසන්න ජයසිංහ මහතා මළ සිරුර නිරීක්ෂණය කර පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන ලෙස කළුතර නාගොඩ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට නියෝග කර තිබිණ.

තම සැමියාගේ වියෝව සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ සුජීවා සමන්ති තවමත් සිටින්නේ හැඬු කඳුළෙනි. ඇය ඒ සම්බන්ධයෙන් පවසන්නේ මෙවැන්නකි.

“මමත් දිමුතුත් ගෙදර ඉන්න කොට මේ පිරිස ගෙදර ඉස්සරහට ඇවිත් දිමුතුට පහර දුන්නා. එයාගේ කකුල්වලට ගැහැව්වා. එයා බිම වැටුණා පස්සේ මම ඥාතීන්ට එන්න කියලා බොහොම අමාරුවෙන් ත්‍රිවිල් එකකට දාගෙන ඉස්පිරිතාලේ ගෙනිච්චා මම දිමුතුව මගේ ඔඩොක්කුවේ තියාගෙන ගියේ. එයා මඟදී නැතිවුණා කියලා වගේ තේරුණා. මට එකවරම දිමුතු නැතිවුණා කියලා කෑ ගැසුණා. අපි එයාව රෝහලට අරන් ගියාට පස්සේ දොස්තර මහත්තයා එයා පරීක්ෂා කරලා එයා නැතිවෙලා කියලා කිව්වා.”

සුජිවා තවදුරටත් අදහස් දක්වමින් මෙසේද කීවාය.

“අපි දෙන්නා විවාහ වුණාට පස්සේ මේ පැල්පොල ප්‍රදේශයේ කුඩා පැල්පතක ජීවත් වුණේ. අපිට ආර්ථික අපහසුකම් තිබුනට දරු දෙදෙනා එක්ක සතුටින් ජීවත් වුණා.”

“දිමුතු හිතහොඳ අවංක පුද්ගලයෙක්. ගමේ දියුණුවට කැමැති සමාජ සේවා කටයුතුවලට කැමැති කෙනෙක්. පැල්පොල පදිංචි අපි අසල්වැසියෝ සමඟ ඉතාමත් හොඳින් දුක සැප බෙදාගෙනයි හිටියේ. “

“මේ අපේ ගමට යන පාර හදාගන්න දැඩි ඕනෑකමක් දිමුතුට තිබුණා. මෙයා නිසා අසල විදුලි බලාගාරයේ හිමිකරුවන් මාර්ගය වැඩි දියුණු කරන්න මුදල් දුන්නා. දිමුතු ඒ සඳහා වැය කරලා මාර්ගය හදන්න යෝජනා කළා. මේ කටයුත්තට අසල් වාසින් එතරම් කැමැත්තක් දැක්වුවේ නැහැ. ඔවුන්ට මුදල් ටික ගසා කන්න බලාපොරොත්තුවක් තිබුණා. දිමුතු ඒකට ඉඩ දුන්නේ නැහැ.”

“මේ පැල්පොල ජීවත් වන බොහෝදෙනෙක් අපේ ඥාතින් වෙනවා. මේ කවුරුත් අපිත් එක්ක අමනාපයක් තිබුණේ නැහැ. මමත් දිමුතුත් නිතර නිතර ඒ අයත් එක්ක ලෙන්ගතුකමින් කතා කරනවා. නමුත් එයාලා අපිත් එක්ක වෛරයෙන් සිටි බව දැනගෙන හිටියේ නැහැ.”

“මෙයාලා එකතුවෙලා ඉතාමත් අමානුෂික ලෙස මගේ දිමුතුව මරලා දැම්මා. මමත් මගේ දරු දෙන්නාත් තනි වුණා. මට දැන් තියෙන්නේ මහ පාර තමයි. වෙන කරන්න දෙයක් නැහැ.”

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාන්තාවන් පස්දෙනකු ඇතුළු සැකකරුවන් 12 දෙනා ද වෛද්‍ය පරීක්ෂණයක් සඳහා කළුතර නාගොඩ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරිණ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!