Gossip

අවි ගබඩාවත් එක්ක කඳවුරේ පෙට්‍රල් ෂෙඩ් එකත් ඇවිලිලා – කඳවුරේ සිටි සෙබලෙක් සිද්ධිය හෙළිකරයි

cvr

“එකපාරටම මහ පිපිරුමක් ඇහුණා. වේලාව හවස 5.45ට විතර ඇති. මම එළියට ආවා. ඒ එක්කම පිපිරුම වැඩි වුණා. ටික වේලාවක් යද්දී අපිට තේරුණා කඳවුරේ අවි ගබඩාව තමයි පිපිරෙන්නෙ කියලා. අපිට කරගන්න දෙයක් නැහැ. සහෝදර සෙබළු ගිනි නිවීම් උපකරණ අරගෙන අවි ගබඩාව දෙසට ගියත් එතනට ළං වෙන්න බැරි වුණා. ඒ සමගම අපිට කඳවුරෙන් එළියට යන්න කියලා නියෝග ලැබුණා. ඒ එක්කම දැඩි පිපුරුම් එක්ක අවි ගබඩාව ගිනි ජාලාවක් වගේ දිස් වුණා. අවි ගබඩාව ගිනි ගනිමින් පිපිරෙන්න ගත්තා. ඒ එක්කම කඳවුර ඇතුළේ අවි ගබඩාව ආසන්නයේ තිබුණ ඉන්ධන පිරවුම්හල ගිනි ගන්න පටන් ගත්තා “යැයි කොස්ගම ශාලාව යුද හමුදා අවි ගබඩා කඳවුරේ ගින්න ඇතිවූ ආකාරය පැහැදිලි කරමින් එහි සෙබළකු ඊයේ (05) රාත්‍රියේ පැවසු අයුරු.

එහිදී තවදුරටත් සිද්ධිය පැහැදිලි කළ එම සොල්දාදුවා මෙසේද සඳහන් කළේය.

මේ අවි ගබඩාවේ මෝටාර් බෝම්බ, පතොරම් තමයි තිබුණේ. ඒවා එක දිගටම පුපුරන කොට අපි එළියට දිව්වා. මගේ ෆෝන් එක විතරයි අතට අහුවුණේ. මම ඒක අරගෙන එළියට දිව්වේ. අපි හුඟක් එළියට ආවා. සෙබළුන්ට හානියක් වෙලාද කියලා අපිට තාම කියන්න බැහැ. තාම අවි ගබඩාව පත්තු වෙවී ගිනි ගන්නවා. එළියට පේන්නෙත් එකම ගිනිජාලාවක් විදිහට යනුවෙන් එම සොල්දාදුවා  ප්‍රකාශ කළේය.

සිද්ධිය ඇසින් දුටු තවත් යුද හමුදා සෙබළෙකු එය මෙසේ විස්තර කළේය.

“මම හවස රෙදි මදිමින් හිටියේ. එකපාරටම කට්ටිය කෑ ගැහුවා පතොරම් ගබඩාව ගිනි ගන්නවා කියලා. ඊට පස්සේ අපි ඔක්කෝම අවි ගබඩාව පැත්තෙන් එළියට දුවගෙන ගියා. එතැන ආරක්ෂක කුටියේ හිටපු සෙබළාට බැහැ ගන්න වේලාවක් තිබුණේ නැහැ. එයා තමයි මිය ගිහිල්ලා තියෙන්නේ.”

කොස්ගම යුද හමුදා අවි ගබඩාව ඊයේ (05) ප.ව. 5.45ට පමණ පුපුරා ගිනි ගැනීමෙන් හමුදා කඳවුරට විශාල හානියක් සිදුව තිබේ. ප.ව. 6.30 පමණ වෙද්දී කළුඅග්ගලට ආසන්න සුදුවැල්ල ප්‍රදේශයට පිපිරුම් හඬවල් සමග ශාලාව හමුදා කඳවුරෙන් පිටවෙන විශාල කළු දුම් වලා දක්නට ලැබුණු අතර ඉන් පසුව එය රතු ගිනි ජාලා දක්වා ව්‍යාප්ත වූ බවද සුදුවැල්ල ප්‍රදේශවාසීහු රිවිරට පැවසූහ.

කඳවුරෙන් මතු වූ ගිනිදැල් කිලෝමීටර් දොළහක් පමණ දුරින් පිහිටි පනාගොඩ කර්මාන්ත පුරයේ උස්බිමකට ද බියගම ප්‍රදේශයේ උස්බිම්වලටද පැහැදිලිව දර්ශනය වූ බව ද එම ප්‍රදේශවාසීහු සඳහන් කළහ.

මෙම ගින්න ඊයේ රාත්‍රී 7.00 පමණ වෙද්දී කඳවුරේ පතොරම් ගබඩාව දක්වා ව්‍යාප්ත වී තිබූ බවද යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා පැවසීය.

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා තවදුරටත් සඳහන් කළේ සිද්ධියෙන් එක් හමුදා සාමාජිකයකු මියගොස් ඇති අතර තවත් හමුදා සාමාජිකයකු තුවාල ලබා ඇති බවයි. ඊයේ රාත්‍රිය වන විට ගින්න පැතිරීම මැඬපැවැත්වීමට කටයතු කළ බවද ඔහු සඳහන් කළේය.

අධිකව සිදුවන පිපිරුම් හේතු කොටගෙන කොස්ගම හමුදා කඳවුරේ සිට කිලෝමීටර් හයක අරයක් ඇති ප්‍රදේශයේ ජනතාව මුළුමනින්ම ඉවත් කිරීමට ත්‍රිවිධ හමුදාව සහ ‍පොලිසිය පියවර ගනිමින් සිටියහ.

කඳවුරේ පිපිරුම්වලින් නිකුත් වූ උණ්ඩ කැබලි ශාලාව, සුදුවැල්ල, අකරවිට, කපුගොඩ, මාළිඳ, ගිරිදර හා යට්ටෝවිට ප්‍රදේශවලට වැටී තිබුණු බවද වාර්තා වේ.

ගින්න නිවීම සඳහා ගිය ගිනිනිවන රථ කඳවුරට කිලෝමීටර් එකහමාරක් දුරින් නවතා තිබෙන අයුරු දැක ගන්නට හැකි වූයේ කඳවුර දෙසට ළඟාවීමට නොහැකි නිසාය. ඒ වන විටත් කොළඹ අවිස්සාවේල්ල මාර්ගය කළු පැහැති දුමාරයකින් වැසී තිබුණු බවද එම ස්ථානයට ළඟා වූ යුද හමුදා සාමාජිකයන් සඳහන් කළේය.

නමුත් ඊයේ රාත්‍රී දහය පමණ වෙද්දී ගිනි නිවන රථ කඳවුරට කිලෝමීටරයක් පමණ ආසන්න දුරකට පැමිණ තිබිණි.
කොස්ගම ශාලාව, කළුඅග්ගල, සුදුවැල්ල, අකරවිට, හංවැල්ල, කනම්පැල්ල, ඇස්වත්ත පුවක්පිටිය, බ්‍රැන්ඩිගම්පළ, වග කහහේන, වැලිකන්න, කඩුගොඩ, තුම්මෝදර, සමනබැද්ද, තිත්තපත්තර, ගිරිදර, කපුගොඩ, මාළිඳ, පූගොඩ ආදී ප්‍රදේශ රැසක ජනතාව තමන්ගේ උන්හිටි තැන්වලින් ඉවත්ව පිටව යන අයුරු ද දකින්නට ලැබුණි.

සීතාවක කර්මාන්ත පුරයේ බොහෝ ස්ථානවලට ග්‍රෑම් 500, කිලෝග්‍රෑමය ආදී බරැති කැබලි වැටී තිබුණි.

කොළඹ හයිලෙවල් මාර්ගය පුවක්පිටියේ සිට මීපේ මංසන්ධිය දක්වා වසා දැමීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබූ අතර මේ හේතුවෙන් දැඩි වාහන තදබදයක් ඇතිව තිබුණි. ඒ නිසා තමන්ගේ ගේදොරවලින් ඉවත්ව යන ජනතාවට කිලෝමීටර් හයකින් එහා පිහිටි ආරක්ෂක ස්ථාන කරා ළඟාවීමද ඊයේ මැදියම් රැය ආසන්නය වනතෙක්ම ගැටලුවක්ව පැවතිණි.

ගින්න මැඬපැවැත්වීම සඳහා යුද හමුදාවට අමතරව ගුවන් හා නාවික හමුදාවන්ගේත් ‍පොලිසියේත් සහයෝගය ලබා ගැනීමට ආරක්ෂක අංශ ක්‍රියා කළ අතර ගින්න පිළිබඳව පරීක්ෂා කිරීමට නයිට්විෂන් කැමරාවක් සහිත බිච් එයාර් ක්‍රාෆ් යානාවක්ද ගුවන් ගත කිරීමට ගුවන් හමුදාව පියවර ගෙන තිබුණි.

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් චන්දිම අල්විස් මහතා පැවසුවේ පැය තුනක පමණ කාලයක් නිරීක්ෂණ කටයුතුවල නිරතවූ අතර හමුදා කඳවුර ආසන්නයේ තිබූ හඳුන්කූරු ආයතනයකට ගිනි ඇවිළී තිබූ බවත් එහි ගින්න නිවා දැමීමට කටයුතු කළ බවය.

ගින්න මැඬපැවැත්වීමේ කටයුතු සහ සිදුව ඇති හානිය අධීක්ෂණයට යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතාද ඊයේ පස්වරුවේ පටන් කොස්ගම ශාලාව හමුදා කඳවුරට පැමිණ සිටියේය.

රිවිර මුද්‍රණාලයට යවන අවස්ථාව වන විටත් ශාලාව හමුදා කඳවුර අසල විශාල පිපිරුම් හඬවල් ඇසෙන අතර අවම ප්‍රදේශයේ විදුලියද විසන්ධි කර තිබේ.

මේ වන විට ප්‍රදේශයේ සිටින සියලුම ජනතාව මීපේ ප්‍රදේශය දක්වා යුද හමුදා ලොරි රථ යොදා ගනිමින් කඳවුර පිහිටි ස්ථානයෙන් ඉවත් කිරීමට පියවර ගනු ලැබිය.

ඊයේ රාත්‍රී 11.15ට පමණ සෙබළු රැගත් විශේෂ ආරක්ෂිත යුද හමුදා ට්‍රක් රථ කිහිපයක් කඳවුරු තුළට ඇතුළු වන අයුරු දැකගත හැකි විය. එම ට්‍රක් රථ සමග යුද හමුදාපතිවරයාද කඳවුර ආසන්නය තෙක්ම ගොස් එම ප්‍රදේශය නිරීක්ෂණය කරන අයුරු ද දැකගත හැකි විය. ඉන් අනතුරුව ඔවුන් සිය මෙහෙයුම අරඹමින් එම ගින්න මැඬ පැවැත්වීම සඳහා කටයුතු කරමින් සිටියේය.

මෙම ගින්න හේතුවෙන් කොස්ගම මුරුතගම ප්‍රදේශයේ කඩයක්ද ගින්නෙන් විනාශ වී ඇති බව ඊයේ රාත්‍රිය වන විට දැන ගන්නට ලැබුණි.

22 18 17 16 12 13 14 15 8 9 10 11 7 6 5 4 1 2 3

උපුටා ගැනීම : රිවිර

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!