Gossip

ඕස්ට්‍රේලියාව පෙරමුණ ගනියි

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන අළුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 120 ක ජයක් අත්කර ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම අද (6 වැනිදා) සමත් විය. තරග 5 කින් සමන්විත තරගාවලිය මේ වන විට 2-0 ක් ලෙස පෙරමුණ ගෙන සිටින්නේද සත්කාරක ඕස්ට්‍රේලියාවයි.

තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 354 ක ඉලක්කයක් හඹාගිය එංගලන්ත කණ්ඩායමේ දෙවැනි ඉනිම ලකුණු 233 කට සීමා කිරීමට මිචෙල් ස්ටාර්ක් ප්‍රමුණ ඕස්ට්‍රේලියානු පන්දු යවන්නෝ සමත් වූහ. සිවුවැනි දිනය වූ ඊයේ (5 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 4 ක් දැවී ලකුණු 176 ක් ලබා සිටි එංගලන්ත කණ්ඩායමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ අද දිනයේදී සිය දෙවැනි ඉනිම සඳහා අලුතින් එක්කරගත හැකි වූයේ ලකුණු 57 ක් පමණි.

එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ ස්ටාර්ක් ලකුණු 88 කට කඩුලු 5 ක් දවාගනිමින් එංගලන්ත කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කළේය. ඒ සඳහා ඔහුට අනගි සහායක් දුන් ජොෂ් හෙසල්වුඞ් සහ නේදන් ලයන් කඩුලු 2 බැගින් දවාගත්හ.

එංගලන්ත දෙවැනි ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ නායක ජෝ රූට් ලකුණු 67 ක් රැස්කළ අතර ඔහුගේ 34 වැනි ටෙස්ට් අර්ධ ශතකය හතරේ පහර 9 කින් සමන්විත විය. රූට්ගේ දැවී යාමෙන් පසු පිටියට පිවිසි පිතිකරුවන් අතුරින් ලකුණු 10 සීමාව පසුකර යෑමට සමත් වූයේ ජොනී බෙයාස්ට්‍රෝ (36) පමණි.

ඕස්ට්‍රේලියාවට වඩා ලකුණු 353 ක් පසුපසින් සිටිමින් දෙවැනි ඉනිම ඇරඹූ එංගලන්ත කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 51 ක් වන විට බිඳ වැටුණ අතර එහිදී ඇලිස්ටෙයාර් කුක් ලකුණු 16 කට දැවී ගියේ නේදන් ලයන්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමිනි. ඉන් අනතුරුව මාර්ක් ස්ටෝන්මන් ලකුණු 36 කටද, ජේම්ස් වින්ස් ලකුණු 15 කටද පිටියෙන් ඉවත් කිරීමට සමත් වූ මිචෙල් ස්ටාර්ක් එංගලන්ත කණ්ඩායම අසීරු තත්ත්වයකට ඇද දැමුවේය.

එතැන් පටන් ජෝ රූට් සමග එක්වූ ඬේවින් මැලන් (29) සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 78 ක සම්බන්ධතාවක් ගොඩනැගූ අතර පැට් කමින්ස්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් ඬේවිඞ් මැලන් දැවී යෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත් විය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!