Gossip

පිරිමි වැරදි කරනකම් ගැහැණු වරදේ බැඳෙනවා-කටකතා ඔක්කොම බොරු නෙවෙයි

ලස්සන මලක් පිපිලා සුවඳ දිදී ඒ මේ අත සැලෙද්දී පාරේ යන එන අයත් නැවතිලා එහි හැඩ වැඩ බලනවා මල වටා රඟන බඹරුන්ගේ ගුමු ගුමු සද්දේ පළාතේම විහිදිල යනවා. ඔය අතරේ ඒ මල පරවෙලා පෙති හැලිල ගියාම මේ ගහේ මලක් පිපිලා තිබුණද කියලා හොයලා බලන්නවත් කෙනෙක් ඉතුරු වෙන්නේ නැති තරම්. ඒක තමයි ලෝක ස්වභාවය. ඒක අපේ ජීවිතවලටත් ඒ විදියටම ‍පොදුයි.

කාලයක් සිනමාවයි, පුංචිතිරයයි හැඩ කළ අනූෂා සොනාලි කාලයත් එක්ක කලා ලොවෙන් ඈත් වුණා. පෞද්ගලික ජීවිතේ හැල හැප්පීම් මුල් කරගෙන ඉන්පසුව ඈ පිළිබඳව විවිධාකාර පුවත් මැවුණා.

රුවින් හා රංගනයෙන් එදා ජන හද බැඳ ගත් අනූෂා සොනාලි අද දිවි ගෙවන්නේ රෝද පුටුවක බව කීවොත් ඔබ පුදුමයට පත්වෙන්නටත් පුළුවන්. අද අනූෂාගේ තනියට ඉන්නේ ඇගේ අම්මයි එකම පුතයි විතරයි. අනූෂාගේ අම්මත් ඉන්නේ රෝද පුටුවක. අනූෂාටයි අම්මටයි දෙන්නටම ඇප උපස්ථාන කරන්න වෙලා තියෙන්නේ අනූෂාගේ පුතාටයි. අනූෂාට යම් තරමට හෝ රැකවරණයක් වූ එකම මල්ලිත් හෘදයාබාධයකට ලක්වෙලා රෝහල් ගතවෙලා. අද වනවිට ආර්ථික අර්බුද රැසකට මැදිවෙලා ඉන්න අනූෂා හෙට දවසක් ගැන හිතන්න බැරි තරම් අසරණ වෙලා ඉන්නේ.

“දැන් මට ඊළඟට කරන්න තියෙන්නේ මගේ ජීවිතේ නැති කරගන්න එක විතරයි.”
අද අනූෂාගේ මුවග නිතර රැඳිලා තියෙන්නේ ඒ වදන් වැල.

මේ අවස්ථාවේ අනූෂා සොනාලි වෙනුවෙන් “රිද්ම” තුළින් ඉඩක් වෙන්කිරීමයි අපේ යුතුකම. ජීවිතයේ කිසිම දාක වැරැද්දක් නොකළ අයෙක්, ඒ වගේම කවදාවත් ජීවිතය වරද්දා නොගත් අයෙක් මේ ලෝකේ කොහෙවත් නෑ. ජීවිතය වරද්දාගත් තැන් අනුෂා සොනාලිටත් තියෙනවා. ඒත් ඇය නිළියක් බව, ගැහැනියක් බව, අප අමතක කළ යුතු නැහැ.

“සුමිත්‍රා පීරිස් මහත්මිය ‘ගැහැනු ළමයි‘ ටෙලි නාට්‍යයට මාව තෝරගන්නකොට මම සාමාන්‍ය පෙළ හදාරනවා. ඊට පස්සේ ‘ලොකු දුව‘ ‘විසි දැල’ ‘හඬන කිංකිනි’ ඇතුළු චිත්‍රපට කිහිපයකට මට ආරාධනා ලැබුණා. ටෙලි නාට්‍ය නම් ගොඩක් කළා. කලාව තුළ දිග ගමනක් යන්න ඒ කා‍ලේ මම බොහෝ හීන මැවුවා. පාසල් ජීවිතයටත් ආයුබෝවන් කියලා රංගනයටම එකතු වුණා. 1995 හොඳම නැගී එන නිළියට හිමි සම්මානය ලැබුණෙත් මටයි“

අනූෂා සොනාලි අතීතය ආවර්ජනය කරමින් අපේ කතාබහට එකතු වුණා. බොහෝ අය තමන්ගේ ජීවිතයේ අඳුරු අහුමළු හෙළි කරන්න මැලිවෙනවා. ඒත් අනූෂා හෘදයාංගමව ජීවිතයේ හැමදේම අපට හෙළිදරව් කළා.

“මම ගැන පසුගිය කා‍ලේ විවිධ කට කතා පැතිරුණා. ඒ හැම එකක්ම අභූත චෝදනා කියලා මම කියන්නේ නැහැ. ඒ අතරින් සමහර ඒවා ඇත්ත. ඒත් දැන් මගේ පුතාට අවුරුදු 19යි. ඒ හින්දා හැමදේම පත්තරේකට සඳහන් කරන්න බැහැ…”
අනූෂාගේ හඬේ තියෙන්නේ ආයාචනාත්මක ස්වරයක්.

අනූෂාට ජීවිතයේ වැරදුනේ කොතැනදීද?
පිරිමි වැරදි කරන තාක් කල් ගෑනු වරදෙ බැඳෙනවා.

අනූෂා එහෙම කියලා දිගු කතාවකට මුල පිරුවා.

නිළියක් විදියට මට හොඳ කාලයක් තිබුණා. මට චිත්‍රපට, ටෙලි නාට්‍යය ලැබුණා. ඒත් අපේ පෞද්ගලික ජීවිත අපි කරන වෘත්තියට බලපෑම් කරනවා. පෞද්ගලික ජීවිතේ ගොඩක් හැලහැප්පීම් වුණා. මම දෙවතාවක් විවාහ වුණත් ඒ දෙන්නා මගේ දේවල් ගත්තට මට ඒ අයගෙන් ලැබුණු දෙයක් නැහැ.

ඔය අතරේ බොහෝ ගැටුම්කාරී දේවල් ජීවිතයට එල්ල වුණා. ඒ විදියට ජීවිතේ හැල හැප්පීම් සිදුවෙනකොට ජීවිතේ වෙනමම පැත්තකට ගියා. ඒත් එක්කම කලා ජීවිතයත් ඈත් වුණා.

අනූෂා සොනාලි ලෙඩ ඇඳට වැටුණේ කොහොමද?

මටයි අම්මටයි දෙන්නාටම තියෙන්නේ මාංශ පේශි අක්‍රියවීමේ රෝගය. අම්මට නම් ඇඳෙන් රෝද පුටුවට යන්නවත් බැහැ. කවුරුහරි උස්සලා තමයි රෝද පුටුවෙන් තියන්න ඕන. මට නම් අල්ලගෙන රෝද පුටුවට එන්න පුළුවනි. මීට අවුරුදු හතරකට විතර කලින් තමයි මට මූලික රෝග ලක්ෂණ පහල වුණේ. කකු‍ලේ මාංශ පේශී මුලින් අක්‍රිය වුණා. ඇවිදීමේ අපහසුව, වැටෙන්න යන එක තමයි මුලදි ඇතිවුණේ. ඔය අතරේ මම වැටුණා. වැටුණට පස්සේ කකු‍ලේ අස්ථියක් බිඳිලා ගියා. ඒකට ප්‍රතිකාර කළා. ඒත් දැන් මගේ ශරීරයේ තුනටියෙන් පහළ පණ නෑ. ගේ දොර කටයුතු උයන පිහන කටයුතු ඔක්කොම කරන්නේ රෝද පුටුවේ ඉඳගෙන…
අද වන විට ආර්ථික ගැටලු ගොඩක් ඇති

මම ඉන්නේ කුලී ගෙදරක. කුලිය ගෙවන්න බැරිව ගෙදරින් යන්න වුණොත් යන්න වෙන්නෙ මහ පාරටයි. පිට ඉඳන් බලන අය හිතන්නේ නළු නිළියෝ සුපිරි ජීවිත ගතකරනවා කියලා. ඒත් අපේ රටේ නළු නිළියන්ට ගෙවන්නේ කීයද කියලා දන්නේ අපියි. නිළියක් විදියට ඉහළ තැනක ඉන්න කාලෙවත් රඟපාලා ලොකු ගාණක් මට ලැබිලා නැහැ. ඉතුරු කරගත්තු දෙයකුත් නැහැ. කැළුම්, ප්‍රියන්ත, සනෝජා විනෝජා, සුනිල් ටී. සර්, ජයන්ත ධර්මදාස මහතා මට උදව් කරලා තියනවා. ගෙවල් කුලී ගෙවාගන්න විතරක් නමෛයි එදා වේල කන එකටත් අද අනිත් අයගෙන් උදව් ඉල්ලන්න වෙලා.

ඔබේ පුතා?

මගේ පුතා රෙහාන් දීලක. ඉගෙන ගත්තේ සාන්ත තෝමස් විදුහ‍ලේ. සාමාන්‍ය පෙළ හොඳින්ම සමත්. ඒත් උසස් පෙළට යවන්න බැරි වුණේ ආර්ථික ප්‍රශ්න හින්දා. ඒවගේ පාසලක ඉගෙන ගත්තු දරුවෙක් ඕ ලෙවල් පාස්වෙලා ආර්ථික ප්‍රශ්න හින්දා ඇඩ්වාන්ස් ලෙවල් නොකර පාසල් ගමන නතර කරලා කිවුවොත් ඔයා වුණත් විශ්වාස කරන එකක් නැහැ. ඒත් ඒ තමයි අපේ ෙදෙවය. අද පුතාව රස්සාවකට යවන්න විදියක් නැත්තේ අම්මගෙයි මගෙයි කටයුතු හින්දා. අපි දෙන්නා මැරිල ගියා නම් පුතා එයාගේ අනාගතයත් ගොඩනගා ගනියි කියලා වෙලාවකට හිතෙනවා. පුතාට වයස 19යි. අඩි 5යි අඟල් 9ක් උසයි. මට ආසයි පුතා නළුවෙක් කරන්න. ඒත් ඉතින් මට දැන් කලා ක්‍ෂේත්‍රය එක්ක සම්බන්ධයක් නැහැනේ.

මේ ප්‍රශ්නවලට අනූෂා කොහොමද විසඳුම් හොයන්නේ?

ජනාධිපතිතුමාටයි සජිත් ප්‍රේමදාස මැතිතුමාටයි ඉල්ලීම් කරලා තියෙන්නේ මට ගෙයක් ලබාදෙන්න කියලා. ලයිට් නැතත් කමක් නැහැ පහනක් පත්තු කරගෙන වැටිලා ඉන්න කාමර දෙකයි කුස්සියකුයි තියෙන ‍පොඩි ගෙයක් ලැබුණොත් ඇති. බඩගින්නේ හරි වැටිලා ඉන්න පුළුවන්නේ. ඉදිරිය කොයිවගේ වෙයිද කියලා දන්නේ නැහැ කරන්නට දෙයක් නැත්නම් ජීවිතේ නැතිකරගන්න එක තමයි දැන් මට කරන්න ඉතිරි වෙලා තියෙන්නේ.

ආරියවංශ කුලතිලක

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!