Gossip

“මම හිතන්නෙ දැනටමත් මට පෙම්වතියගේ චරිතය මඟ හැරී ගිහිං ඉවරයි.”

දෙවනි ඉනිමෙ දෙව්මිගේ මවගෙ චරිතය ප්‍රේක්ෂකයන් ගොඩදෙනෙක් වැලඳ ගත්ත චරිතයක් වුණා නේද?
අවුරුදු දෙකක් වගේ කාලයක් දෙවනි ඉනිම විකාශය වෙනවා. ඉතිං ඒ කාලය ඇතුළත දෙවනි ඉනිම ඉතාමත් සාර්ථක ලෙස ප්‍රේක්ෂකයන් අතරට ගියා.
ඉතිං ඒකත් එක්ක මම විතරක් නෙමෙයි නාට්‍යයේ එන අනෙකුත් චරිතවලටත් ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබුණ.
ඒ වගේම දෙව්මිගේ අම්මාගෙ චරිතයටත් ගොඩාක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

මේ වගේ වයසින් මුහුකුරා ගිය චරිත කිරීමත් එක්ක අංජලීට පෙම්වතියගේ චරිත මඟහැරී යාවි නේද?
මම හිතන්නෙ දැනටමත් මට පෙම්වතියගේ චරිතය මඟ හැරී ගිහිං ඉවරයි.
රංගනයට ආව මුල් කාලයේදි නම් පෙම්වතියගේ චරිත ලැබුණා.
පසු කාලෙදි මවගේ චරිතය කරන්න ලැබුණා. නමුත් මම ඒ චරිත හරි ආසාවෙන් කළා සහ මම අම්මගෙ චරිත හොඳින් කරන නිසාමද කොහෙද පස්සෙ කාලෙදි මට ලැබුණෙම මවගේ චරිත. මට ඇත්තටම සතුටු වෙන්න පුළුවන් වයස 50ක විතර චරිතයක් මා විසින්ම ගොඩනඟාගෙන කරනු ලැබීම ගැන. රගපෑම කියන්නෙ ඒකනේ.
කොහොමත් රංගන ශිල්පියෙක් ශිපල්පිනියක් වුණාම අපිට ලැබෙන ඕනෙම චරිතයක් බාර අරන් හරියාකාරව කරන්න අපි සූදානම් වෙලා ඉන්න ඕනි. ඒ නිසාම මම අම්මාගෙ චරිත හරි ආසාවෙන් කරනවා. අනිත් කාරණය තමයි මට ලැබෙන ඕනෑම චරිතයක් පුළුවන් උපරිමයෙන් කිරීමයි මගේ වෑයම.

සැබෑ ජීවිතයේ මවගේ භූමිකාව කොහොමද මේ දවස්වල ගෙවිලා යන්නෙ?
අනෙක් මව්වරුන් වගේම මමත් මගේ දරුවාට මවකගෙන් විය යුතු සියලු යුතුකම් මඟ නොහැර සිදු කරනවා.
මොකද මම ගොඩාක් කාර්යබහුල රංගන ශිල්පිනියක් නෙමෙයි. ඒ නිසා මට පුළුවන් වැඩි කාලයක් දරුවා එක්ක ගත කරන්න. ඉතිං සාමාන්‍ය විදිහට ඒ කටයුතු කෙරීගෙන යනවා.

දරුවා කලා ක්ෂේත්‍රයට එනවට අංජලී කෑමතිද?
එයා අවුරුදු දෙක හමාරෙදි විතර ඉඳලා කලා කටයුතුවලට සහභාගී වෙලා තියෙනවා. ඔයා මේ පැත්තෙන් යන්න කියලා බල කිරීමක් නෑ.
අනික එයා තාම පොඩියි. අනාගතයේදි එයා කැමති ක්ෂේත්‍රයකින් ඉදිරියට යන්න මම එයාට අවසරය දීල තියෙන්නෙ. කොහොමත් කලා කටයුතුවලට එයාගෙ කැමත්තක් තියෙනවා.

සිනමාව පැත්තෙන් අලුත් නිර්මාණයකට සම්බන්ධ වුණේ නැද්ද?
සිනමාව පැත්තෙන් මට ගොඩාක් ප්‍රධාන චරිතවලට කතා කරනවා අඩුයි. නමුත් චිත්‍රපටයක පොඩි චරිතයක් වුණත් ගොඩාක් වටිනවා.
ලලිත් රෝහිත වීරසිංහ මහත්මයාගේ තට්ටු දෙකේ ඉස්කෝලේ කියන ළමා චිත්‍රපටයේ චරිතයක් කරන්න මට අවස්ථාවක් ලැබුණා.
ඉතිං ඒක තමයි මම මෑතකදි සම්බන්ධ වුණු නවතම සින්මා නිර්මාණය. තවත් ආරාධනා කිහිපයක් ලැබිලා තියෙනවා සිනමාව පැත්තෙන්. ඉදිරියේදි ඒවාට සහභාගී වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

‘ඇඩ්‍රස් නෑ’ චිත්‍රපටයේ ඔබ කෙරූ චරිතයට ඉතාමත් සාර්ථක ප්‍රතිචාර ලැබුණා. ඒ අතීතය ගැනත් මතක් කරමු?
ඔව්. අනිවාර්යයෙන්ම. මමජැක්සන් ඇන්තනී මහත්මයාට ගොඩාක් ස්තූතිවන්ත වෙනවා ඒ චරිතය මට ලබා දුන්න එක ගැන.
ඇත්තටම මම ගොඩාක් ආසාවෙන් හිටියේ එතුමාගේ අධ්‍යක්ෂණය යටතේ එතුමාගේ නිර්මාණයකට සම්බන්ධ වෙන්න.
ඉතිං ඒ අවස්ථාව මට ලැබුණා ඇඩ්‍රස් නෑ සිනමා පටය හරහා. ඒ චරිතය වෙනස් චරිතයක්. නමුත් මම ඒක හොඳට කරලා තිබුණා කියලා මම හිතනවා. ක්ෂේත්‍රයේ ඉන්න ප්‍රවීණයන්ගෙන් පවා ඒ චරිතයට ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබුණා. ඇත්තටම මම ගොඩාක් සතුටු වුණා ඒ වෙලාවෙදි මම ඒ චරිතයට සාදාරණයක් කළානෙ කියලා.

මෙගා ටෙලිනාට්‍යවලට සම්බන්ධ වීම සමහර අවස්ථාවන්හිදී කලාකරුවන්ට අවාසියක් නේද?
මෙහෙමයි, වෘත්තීය පැත්තෙන් රංගන ශිල්පියකු හෝ ශිල්පිනියකට චරිත තෝරා බේරා ගන්න පුළුවන්. නමුත් දීර්ඝද කෙටිද කියලා තෝර තෝරා හිටියොත් වැඩ නැතිව තමයි ඉන්න වෙන්නෙ. මේ දවස්වල ගොඩාක් කෙරෙන්නෙ දීර්ඝ ටෙලිනාට්‍ය. කොටස් සීමිත වශයෙන් තියෙන නිර්මානවලටත් කතා කරනවා.
ඊට වඩා කතා කරන්නෙ දීර්ඝ ටෙලිනාට්‍යවලට. මිනිස්සු ආශාවෙන් බලන්නෙත් දීර්ඝ ටෙලිනට්‍යනේ. ඒකට හොඳම උදාහරණය තමයි ‘දෙවනි ඉනිම’. තාමත් ඒකට ලැබෙන ප්‍රතිචාර ඉතාමත් ඉහළයි. එක එක්කෙනාගෙ මතයන් වෙනස් වෙන්න පුළුවන්. නමුත් මට නම් අවාසියක් දැනිලා නෑ.
මට ලැබෙන නිර්මාණයට මම අනිවාර්යයෙන් සාධාරණයක් ඉෂ්ට කරනවා. අනික මම රංගනයට හරිම ආදරෙයි. චරිතය හොඳයි නම් දීර්ඝද කෙටියිද බලන්නෙ නෑ. අනිවාර්යයෙන් එකතු වෙනවා.

පසුගිය කාලය කලාවට වගේම රටටත් හොඳ කාලයක් වුණේ නෑ. මේ ප්‍රශ්න නිසා කලාව රසවින්දනයෙන් මිනිසුන් ඈත් වුණා කියලා හිතෙනවාද?
ඇත්තෙන්ම ඔව්. පසුගිය කාලය ගත්තම අපි නොහිතපු විදිහේ අදහාගත නොහැකි සිද්ධීන් ටිකක් සිද්ධ වුණේ. හිතන්නෙවත් නැති වෙලවක බලපොරොත්තු නොවුණු ඛේදනීය තත්ත්වයකට අපි මුහුණ දුන්නේ. එය කලාවට විතරක් නෙමෙයි මුළු රටකටම බලපෑවා.
කලාව පැත්තෙනුත් හානියක් සිද්ධ වුණා. කරගෙන ආව කලා නිර්මාණ අතරමඟ නැවැත්තුවා. ඒ කාලය තුළ ගෙදරින් එළියටවත් බහින්න බැරි තත්ත්වයක් තිබුණේ. දැං ඉස්සර වගේ ගෙදරින් එළියට බහිද්දි හිතට නිදහසක් දැනෙන්නේ නෑ. මොකක් හරි ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිදු වේවිදෝ කියන බය දැනෙනවා.

කලා ක්ෂේත්‍රයේ බොහෝ පිරිස් කියා සිටියේ අප්‍රේල් 21න් පසුව කලාව යම්තාක් දුරට කඩා වැටුණා කියලයි. හැබැයි ඊට කලින් කලාව ගැන සෑහීමකට පත්වෙන්න පුළුවන් තැනක ඔබ සිටියාද?
අනිවාර්යයෙන්ම. පුංචි තිරය, වේදිකාව, සිනමාව මේ කියන අංශ තුනෙන් ඉතාමත් හොඳ නිර්මාණ කෙරුණා. ඒ වගේම වේදිකා නිර්මාණවලටත් හොඳ ඉල්ලුමක් තිබුණා.
දැං එහෙම නෙමෙයි. ලොකේෂන් එකකට යද්දි පවා දෙපාරක් හිතන්න වෙනවා. කලාව පැත්තෙන් විතරක් නමෙයි හැම පැත්තකින්ම කඩා වැටීමකට ලක් වුණා.

ලාංකේය දේශපාලනය ගැන මොකද හිතන්නේ?
මට දේශපාලනය ගැන කතා කරන්න කිසිම උවමනාවක් නෑ. ඇත්තටම මම හිතන්න්නෙ දේශපාලනය කියන්නෙ මට අදාළම නැති කාරණයක් කියලයි.

මොනාද ඉදිරි වැඩ කටයුතු?
ඉදිරියේදි මම සම්බන්ධ වුණු නිර්මාණ කිහිපයක් එන්න තියෙනවා. ඒ වගේම දැනට සම්බන්ධ වෙලා ඉන්න නිර්මාණයන්හි රූගත කිරීම්වලට සහභාගී වෙමින් ඉන්නවා.

[හෂාන් අනුරාධ]

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!