Gossip

”සාමාන්‍ය සිප ගැනීමේ දර්ශන චිත‍්‍රපටයකට සුදුසු විදියට නම්, පිටපතට අනුකූල නම් මම කරයි” – අමන්දා සිල්වා

චන්දන එදිරිසිංහ සහ පූජිත ගුණතිලක අධ්‍යක්‍ෂණය කළ පූජිත ගුණතිලක නිෂ්පාදනය කළ, ‘සෙලීනා’ සිනමා සිත්තම දිවයින පුරා පිහිටි සිනමා ශාලාවන්හිදී දැන් තිරගත කෙරේ.

‘සෙලීනා’ චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතයට ජීවය මුසු කරමින් සිය කුළුඳුල් සිනමා රංගනයට පිවිසුණු ඇය, කුඩා කල සිටම නර්තනයට සහ රංගනයට ද දක්‍ෂතා එළිදක්වමින් පසුකලෙක මෙරට නිරූපණ වේදිකාව ද ජය ගැනීමට සමත්කම් දැක්වූයේ ඒ හරහා පුංචි තිරයට සහ රිදී තිරයට ද පිවිසීමේ දොරගුළු විවර කර ගනිමිනි. සිනමාවේ දිගු ගමනක නියැලීමේ අදිටනින් පසුවන මේ සිත් පිනවන, සොඳුරු රුවැති, රංගන ශිල්පිනිය අමන්දා සිල්වා නම් වන්නීය.

‘සෙලීනා’ මගේ පළමු චිත‍්‍රපට රංගනය. ඒ වගේම ‘සෙලීනා’ කියන්නේ මෙහි ප‍්‍රධාන චරිතයට. ‘සෙලීනා’ අපි මේ දක්වා චිත‍්‍රපටවලින් දුටුවාට වඩා වෙනස් කතා තේමාවක්. රහස් පරීක්‍ෂක චිත‍්‍රපටයක් වුණත්, මේක ඇතුළෙන් ලස්සන ආදර කතාවකුත් ගලාගෙන යනවා. මම මේ චිත‍්‍රපටයේදී අපේ කලා ලෝකයේ බොහෝ ප‍්‍රවීණයන් සමග එක්ව රඟපානවා. චිත‍්‍රපටයේදී මගේ පියා වන්නේ ප‍්‍රවීණ රංගධර ජීවන් කුමාරතුංග. මව, ප‍්‍රවීණ රංගවේදිනී වීණා ජයකොඩි. තව බොහෝ ප‍්‍රවීණයන් සිටියා. ඒ කිසිවෙකු මා නවකයකු ලෙස සිතා කටයුතු කළේ නැහැ. පුදුමාකාර සහායක් ලබාදුන්නා. මම සිතනවා මට ලැබුණු පිටපතට අනුව මම අධ්‍යක්‍ෂවරුන් දෙපළගේ විධානයන් නිසි ලෙස පිළිපැද්දා කියලා. මගේ රංගන දායකත්වය ගැන හුඟක් බලාපොරොත්තු තියෙනවා. නමුත් හැම දෙයක්ම තීරණය කළ යුත්තේ පේ‍්‍රක්‍ෂකයා බව මා හොඳින්ම දන්නවා.

කුඩා කල සිට නර්තනයට දක්‍ෂතා එළිදැක්වූ ඔබ, මෙතරම් ඉක්මණින් සිනමා රංගනයට පිවිසෙන්නට හැකිවෙතැයි නොසිතූ බව පැවසුවා….

මම පාසල් කාලයේ උඩරට නර්තනයට තමයි දක්‍ෂතා දැක්වූයේ. පාසලින් පසු නර්තනාචාර්ය කුලසිරි බුදවත්තයන් යටතේ වැඩිදුර හැදෑරීම් සිදු කළා.

‘මොඩන් බැලේ’ නර්තනාංගය හැදෑරීම වෙනුවෙන් කපිල පලිහවඩන මහතා යටතේ හැදෑරීම් සිදු කළා. දර්ශී…. මහත්මිය තමයි මාව නිරූපණවේදිනී රොෂාන් ඩයස් මහත්මිය හමුවට යොමු කළේ. ඊට පස්සෙ මම පූර්ණකාලීනව ‘මොඩලින්’ කරන්න පටන් ගත්තා. ‘කළම්බු ෆැෂන් ෂෝ’ ඇතුළු ෆැෂන් ෂෝ රැසකට එක්වූවා. මේ සෑම තැනකදීම මගේ පියා මගේ ආරක්‍ෂකයා වෙමින් නිරතුරුවම රැඳී සිටීම නිසා තමයි මට මේ ගමන මෙතරම් ප‍්‍රවේශමෙන් එන්නට ලැබුණේ කියලා පියාට කෘතවේදී වෙමින් ගෞරවයෙන් සිහිපත් කරන්නට කැමැතියි.

ඔබ මුලින්ම කැමරාවට මුහුණ යොමු කරන්නේ පුංචි තිරය වෙනුවෙන්…

ඔව්.. ප‍්‍රවීණ කලා ශිල්පී, කැළුම් පාලිත මනිරත්න මහතා අධ්‍යක්‍ෂණය කළ ‘විසුල අහස යට’ ප‍්‍රධාන චරිතය තමයි මම රඟපාන්නේ. ඊට පසුව ‘පැරිසියට යන පාර’ ඇතුළු ටෙලි නාටක කිහිපයක මම රඟපෑවා. නමුත් මම වැඩි අවධානයක් යොමු කළේ නිරූපණ වේදිකාවට. ‘ෆැෂන් ෂෝ’ නිසා රඟපාන්න ලැබුණු හුඟක් අවස්ථා අතහරින්න සිදු වුණා.
 ‘ෆැෂන්’ කරන්න යන්න ඔබේ නිවසින් අවසර ලැබුණද?

අනේ ඔව්.. තාත්තා හිටියනේ. විශේෂ අවුලක් තිබුණේ නැහැ. නමුත් ඕනෑම තැනක හොඳ, නරක දෙකම තියෙනවා. මිනිසුන් එහෙමනේ. හැබැයි මම මේ සෑම තැනකදීම අවබෝධයෙන් කටයුතු කළා.

 ඒ වුණාට රඟපෑම කියන විෂය දැනගෙන කළ යුත්තක් නේද?

ඔව්. ඇත්ත. නමුත් එම රඟපෑම ගැන විශේෂිතව ඉගෙන ගෙන නැහැ. මම හරි ලැජ්ජා චරිතයක්. මම මගේ රඟපෑම් ගැන කොතැනකවත් ස්වයං තීරණයකට ඇවිත් නැහැ. ඒකනේ ඒක පේ‍්‍රක්‍ෂකයාට භාර කරන බව කිව්වේ. හැබැයි මට කලාව පිළිබඳව පවුලේ ආභාසයත් ලැබිලා තියෙනවා කියලා හිතනවා. අපේ සිනමාවේ සිටි ප‍්‍රවීණ රංගවේදියකු වූ පියදාස විජේකෝන්, මගේ සීයා. ඔහුගේ පුත් පි‍්‍රයන්ත විජේකෝන්, මගේ මාමනේ. ඉතිං… ඔවුන්ගෙන් මගේ රංගනයට යමක් ලැබෙන්න ඇති කියලා හිතනවා. මම කොහොමටත් රඟපෑමේදී රඟපානවා කියලා හිතන්නෙ නැහැ. මම කැමැති ඒ චරිතවලට තාත්විකව මුහුණ දෙන්න. මම සිතනවා අපේ ප‍්‍රවීණයන් සමඟ කලාවේ යන මේ ගමනේදී මට බොහෝ දේ දැන උගත හැකියි කියලා. ඒ හරහා දිගු ගමනක් යෑම තමයි මගේ අරමුණ.

මාමා නිසාම ආදර දැලක පැටළුණු ඔබ දැන් හිටි ගමන් ඇමරිකාවටත් යනවා….

ඔව්නේ.. මගේ මාමාගේ යාළුවකුගේ පුතෙක් තමයි මගේ පෙම්වතා වුණේ.. ඔහු දිමුතු පෙරේරා. අපි කාලයක් ආදරය කළා. ඊට පස්සේ අපිට අපි තේරුම් ගිහින් කියලා අවබෝධ කර ගත්තා. ඊටත් පස්සෙ අපි විවාහ වුණා. දැන් මම ඇමරිකාවටත් යනවා. දිමුතුලාගේ පවුලම ගොඩක් කල් සිටියේ එහේ. හොඳ නිර්මාණයකට කතා කළොත් මම ක්‍ෂණිකවම මගේ රටට එනවා.

 ඔබේ රංගනයේදී කළ යුතු, නොකළ යුතු කියලා චරිත තෝරා ගැනීමක් තිබෙනවාද?

අනිවාර්යයෙන්, නොගැළපෙන දේවල් බෑනේ. නමුත් විශේෂ තේරීමකුත් නැහැ. පිටපතට අනුව අධ්‍යක්‍ෂවරයා සමඟ කතා කරනවා. එතැනදී මගේ සීමාවන් තියෙනවා. ඇඳුම් නැතිව කොහොමත් බෑ. කොටට ඇඳීම ප‍්‍රශ්නයක් නෙවී. සාමාන්‍ය සිප ගැනීමේ දර්ශන චිත‍්‍රපටයකට සුදුසු විදියට නම්, පිටපතට අනුකූල නම් මම කරයි. නැත්නම් ඒවා අදාළ නැහැ.

 වේදිකාවේ රංගනය ගැන ඔබ සිතන්නේ කුමනාකාරයටද?

හරිම ආස තැනක්. විඳගන්න ආසම අත්දැකීමක්. රඟපාන්න පුළුවන් ද කියලා හොඳට බලාගන්න පුළුවන් හොඳම තැන වේදිකාව කියලා මම දන්නවා. හැබැයි මට බයක් තියෙනවා වේදිකාව උඩදී මට වචන මතක නැතිව යැයි ද කියලා. කොහොම වුණත් මගේ කාලය නිසි ලෙස කළමනාකරණය කර ගනිමින් හැකි ඉක්මණින් වේදිකාවට ගොඩවීමට මගේ සූදානමක් පවතිනවා.

 අමන්දා සිල්වා… සැබෑ ජීවිතයේදී මොනවගේ චරිතයක්ද..?

මගේ මුහුණෙන් පෙනෙන විදිහ හෝ මගේ කටහඬෙහි දැනෙන විදිහ නෙවෙයි මගේ සැබෑ ස්වරූපය. මම ඇත්තටම සාමාන්‍ය, සරල චරිතයක්. බොහොම විවෘත හදවතක් තියෙන පුද්ගලයෙක්. මම මහ ආඩම්බරකාරියක් වගේ පේනවා ඇති. නමුත් මා එක්ක එක වරක් හෝ කතා කළොත් ඇත්ත තේරෙනවා.

මොනවද ඉදිරි බලාපොරොත්තු….

විශාල බලාපොරොත්තු නැහැ. ඒවගේම සම්මාන වගේ දේ ගැනත් තියෙන බලාපොරොත්තු ඒ විදිහමයි. දෙවියන් දෙන දේ භාර ගන්නවා.

ඔබේ පවුලේ තොරතුරු….

තාත්තයි, නංගියි, මායි. පි‍්‍රයන්ත මාමා මට කලාවේ ගමන් කරන්න හුඟක් උපකාර කරනවා. ඒවගේම මගේ තාත්තා නිසා මම අද මෙතැන ඉන්නවා කියන එක නැවත කියන්න සතුටුයි. මට ආදරය කරන රසික පිරිසකුත් ඉන්නවා. ඒ අයට මමත් ආදරෙයි කියන්න මෙය මට ලැබුණු හොඳම අවස්ථාව කර ගැනීමට කැමැතියි.

සුජීව තත්සර

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!