Gossip

“මොළේ කල්පනා කරලා වැඩ කරන්න ඕනෑ” අජන්ත මෙන්ඩිස්ගේ බිරිඳ කියූ කතාව

ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දක්ෂ දඟ පන්දු යවන්නෙකු වන සුපිරි ක්‍රීඩක අජන්ත මෙන්ඩිස්ගේ ආදරණිය බිරිඳ යෝෂිනී මෙන්ඩිස් ඔවුන්ගේ සොදුරු මතකයන් දිග හැරියේ මෙලෙසයි.

අජන්තව මුලින්ම දැකපු දවස මතකද?
ඛෙත්තාරාම ග‍්‍රවුන්ඩ් එකේදී. යාළුවෝ කට්ටියක් එක්ක මැච් එකක් බලන්න ගිහින්.

එදා මොනවගේ දෙයක්ද හිතුණේ, කතා කරන්න අවස්ථාවක් ලැබුණද?
මං එයාව දැක්කේ හරි අහිංසක කෙනෙක් විදියට .කතා කරන්න වුවමනාවක් තිබුණා. ඉතින් අපි දෙන්නගෙම යාළුවෙක් මාර්ගයෙන් කතා කරන්න අවස්ථාවක් ලැබුණා.

ආදර කතාව එතැනින්ම පටන් ගත්තද?
යාළුවෝ විදියට එදා හඳුගත්තා. මගේ ෆොන් නම්බර් එකත් දුන්නා. ඉතින් එදායින් පස්සේ අපි ෆෝන් එකෙන් කතා කළා. අපි දෙන්නා මාස පහක් හයක් වගේ යාළුවෝ වගේ තමයි ආශ‍්‍රය කළේ. අපි හම්බවෙලා සතියකින් දෙකකින් වගේ අජන්තට ටුවර් එකක් යන්න වුණා වෙන රටකට. ඒ ගියාට පස්සේ හරියට කතා කරන්නත් බැරි වුණා. පස්සේ ලංකාවට ඇවිල්ලා ආපහු කතා කළා. ඉතින් ටික දවසක් යද්දි අපි දෙන්නට දෙන්නා ගැළපෙනවා කියන එක තේරුණා. යාළුවෙලා මාස පහක් හයක් වගේ යද්දී ගෙදරට කියන්න ඕනි කියලා තීරණය කළා.

යෝෂිනිගේ ගෙදර අය කැමැති වුණාද ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙක් යෝෂිනිගේ පෙම්වතා වුණාට?
අපේ සම්බන්ධයට මාස පහක් හයක් වගේ කාලයක් යද්දී අජන්ත අපේ ගෙදර ඇවිල්ලා අම්මගෙනුයි, තාත්තගෙනුයි ඇහුවා මං ගැන.තාත්තා අජන්තව ගොඩක් හොදින් දන්නවා. අකැමැත්තක් තිබුණේ නැහැ. සම්බන්ධයට ගෙවල් දෙකින්ම අවසර ලැබුණා.2011 දී ජනවාරි හයවෙනිදා තමයි වෙඩින් එක ගත්තේ. අවුරුදු එකහමාරක් විතර පෙම්වතුන් වෙලා හිටියා.

ඔයා දකින විදියට අජන්ත මෙන්ඩිස් කියන්නේ මොනවගේ කෙනෙක්ද?
එයා හරි නිහතමානී, අහිංසක කෙනෙක්. ආගමට ලැදියි. කිසිම කෙනෙක් එක්ක කිසිම දවසක තරහක් ඇති කරගන්නේ නැහැ.ඒ වගේම හොද පෞරුෂයක් තියෙනවා. ඒ තියෙන නිහතමානී ගතිගුණවලට තමයි මං ගොඩක් කැමැති.

අජන්ත ඔයාට දුන්න පළවෙනි ගිෆ්ටි එක මතකද?
වැලන්ටයින් එකකට මුද්දක් ලැබුණා.

අද කාර්යබහුල ජීවිතයක් ගෙවන ක‍්‍රිකටර් කෙනෙක්ගේ බිරිදක් වුණාම යුතුකම් වගකීම් හරියටම ඉෂ්ඨ කරන්න පුළුවන් වෙලා තියෙනවද?
අජන්තට තියෙන වැඩ එක්ක ඇත්තටම එයාට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ගෙදර දේවල්වලට සම්බන්ධ වෙන්න. ඒ හැමදේම මගේ අතින් තමයි සිද්ධ වෙන්නේ. එයාට පුළුවන් හැම වෙලාවකම අපි තුන්දෙනා එක්ක කාලය ගෙවන්න තමයි කැමැති. මට ඉස්සර නම් හිතුණා අනේ ක‍්‍රිකටර් කෙනෙක් බැන්දම නම් ගොඩක් බිසී වෙයි වැඩ කරගන්න බැරි වෙයි කියලා. ඒත් දැන් දැනෙනවා දෙන්නට දෙන්නා අවබෝධයෙන් ජීවත් වෙනව නම් ජීවිතේ ගෙනියන්න එහෙම අමාරුවක් නැහැ කියලා.

ඒ දේවල් හරියට කරගන්න ගෙදර අයගෙන් ලැබෙන සහය කොහොමද?
ඇත්තටම අම්මා තාත්තාගෙන් ලොකු උදව්වක් අපිට ලැබෙනවා. ගොඩක් වෙලාවට අපි ගැන හොයනවා බලනවා. ඒ දේ නම් ලොකු ශක්තියක්.

ආදරේ කරන කාලේ හිටිය අජන්ත ඒ විදියටම අදත් දකින්න පුළුවන්ද යෝෂිනිට?
එයාගේ මොන විදියේ වැඩක් තිබුණත් අපි ගැන හොයලා බලනවා. හැමදේම අතැරලා හරි ඒ දේවල් කරන කෙනෙක්. ඒ ආදරයේ කිසිම වෙනසක් වෙලා නැහැ.

අජන්තට නිතර නිතර ලංකාවෙන් පිට යන්න වුණාම යෝෂිනිට පාළුවක් , ඒ වගේම වෙලාවකට තරහක් එහෙම හිතෙන්නේ නැද්ද? හැමවෙලෙම එයාගේ දේවල් විතරයි මං ගැන බලන්නේ නැහැ කියලා?
බදින්න කලින් නම් ඒක ගොඩක් ලොකුවට දැණුන දෙයක්. ගෙවල්වලින් කැමැත්ත ලැබිලා තියෙද්දිත් දෙපැත්තකට වෙලා ඉන්න එකේ තේරුමක් නැහැ කියලා තමයි අජන්ත වෙඩින් එක ඉක්මන් කළේ. ඉතින් ඊට පස්සේ එයා ගිය හැම ටුවර් එකකටම වගේ මමත් ගියා. ඒ තිබුණ ප‍්‍රශ්නය ඒ විදියට නැතිවෙලා ගියා. එයා කොයිතරම් කාර්ය බහුල වුණත් පවුල අපි තුන්දෙනාට මුල් තැන දීලා තියෙනවා. මේ දවස්වල නම් මැච් වලට යන්නේ නැහැ. අපි එක්ක කාලය ගෙවෙන්නේ.

අජන්ත මෙන්ඩිස් කියන රටක් ආදරේ කරන ක‍්‍රිකට් ක‍්‍රීඩකයකුගේ බිරිදක් වීම පිළිබදව යෝෂිනිට මොකද හිතෙන්නේ?
ඒ ගැන නම් නිහතමානීව මං ආඩම්බර වෙනවා. අජන්ත මේ දේවල් හරි අමාරුවෙන් ජයගත්තු දේවල්. හැම කෙනෙක්ටම මේ අවස්ථා ලැබෙන්නේ නැති නිසා ලොකු සතුටක් තියෙනවා ඒ ගැන.

ප‍්‍රසිද්ධ කියන ඇතැම් චරිතවල පවුල් ජීවිත වර්තමානයේදී අවුල් වෙලා. අවසානය දෙන්නා වෙන් වීමකින් කෙළවර වෙනවා. මේ වගේ සිදු වීම් ගැන ඔයාට මොකද්ද හිතෙන්නේ?
ඇත්තටම දෙන්නාගේ අවබෝධය තේරුම් ගැනීම තමයි ගොඩක් වැදගත් වෙන්නේ. ඒ දේවල් හරියට තියෙනවනම් පවුල් අතරේ ප‍්‍රශ්න ඇති වෙන්නේ නැහැ. මොළේ කල්පනා කරලා වැඩ කරන්න ඕනෑ. එහෙම වුණාම තමයි සාර්ථක ජීවිතයක් ගත කරගන්න අවස්ථාව ලැබෙන්නේ

අනාගතය ගැන මොනවගේ බලාපොරොත්තුවක්ද තියෙන්නේ?
මේ වෙද්දි නම් අපි දෙන්නගෙම බලාපොරොත්තුව අපේ දරුවෝ දෙන්නා. පුතා අයාන් මෙන්ඩිස් අවුරුදු පහයි, දුව අනන්‍යා මෙන්ඩිස් අවුරුදු එකහමාරයි. ඒ දෙන්නා වෙනුවෙන් වගේම පුරුදු විදියට අජන්තගේ වැඩ කටයුතුවලට උදව් කරලා සතුටින් ජිවිතේ ගෙනියන්න බලාපොරොත්තුවක් ඇතිව වැඩ කරගෙන යනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!