Gossip News

බීමත් ලොරි රියැදුරු නාඋල පොලිස් සාජන් බිලිගනී

සේවා මුරය නිමවී තම නිවස වෙත යමින් සිටි නාඋල පොලිසියේ සැරයන්වරයකු බීමත් රියැදුරකු පැදවූ ලොරියක ගැටී ඊයේ (20) පස්වරුවේ අනතුර සිදුවූ ස්ථානයේදීම මරුමුවට පත්වී ඇත.

පස්වරු 2 ට සේවය නිමාකර තම යතුරුපැදියෙන් ගමන් කරද්දී පොලිස්ථානයට කිලෝමීටර් 2ක් පමණ නුදුරින් වූ හුන්ගන්වෙල මංසන්දියේදී මෙසේ ලොරියේ ගැටී ඇති අතර, බීමත් රියැදුරා මාර්ගයේ විරුද්ධ දෙසින් පැමිණ අනතුර සිදුකර පළා යන අයුරු එම ස්ථානයේ රාජකාරියේ සිටි එම පොලිසියේම තවත් නිලධාරීන් දෙපලක් දැක තිබේ.

එම නිලධාරීන් ලොරි රථය ලූහුබැඳ ගොස් පොලිස්ථානය අසලදීම අල්ලාගෙන ප‍්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත්තේ රියදුරා ඇතුළු ලොරියේ ඉදිරිපස ගමන් කරමින් සිටි තිදෙනාම අධික බීමතින් සිට ඇති බව හා දඹුල්ලේ සිට සහල් තොගයක් මහනුවරට ගෙන ගොස් ආපසු එන ගමනේදී මෙසේ අනතුර සිදුව ඇති බවයි.

අනතුරට පත් පොලිස් සාජන්වරයා ඒ ආසන්නයේ ඇති නාලන්ද රජයේ රෝහලට ඇතුළත් කර ඇති නමුත් ඒ වනවිටත් ඔහු මියගොස් සිටි බව පොලිසිය පවසයි.

මියගොස් ඇත්තේ ජාලිය බණ්ඩාර පාලිත කොහොන 45 නමැති නිලධාරියෙකි. හෙතෙම ඇහැලේපොල කොහොන ප‍්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකි.

සිද්ධිය පිළිබඳ මාතලේ සහකාර පොලිස් අධිකාරී අජිත් වංශනාථ මහතාගේ උපදෙස් පරිදි නාඋල පොලිස්ථානාධිපති යූ.ඞී.ජී.කේ. රත්නායක මහතා ඇතුළු නිලධාරීන් විසින් පරීක්ෂණ සිදුකෙරේ.

ලොරි රථය සහ සැකකරුවන් පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

නාඋල – නිමල් කණහැරආරච්චි

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!