Gossip

මට මිනිස් බිල්ලක් දෙන්න, අද රෑට මම මුන්ගේ පිඟන් රාක්කය හොල්ලනවා, මහත්තයාට හෙට උදේම ආරංචි වෙයි

තමන් විසින් වෙහෙස මහන්සිව උපයා ගත් දේපළද පරපුරෙන් උරුම වූ දේපළ ද මගේ යැයි සිතින් අල්ලා ගෙන සිටීම තණ්හාවයි.
ඒ භෞතික සම්පත් වුවද ක්ෂණයක් පාසා වෙනස් වෙයි දිරා යයි.
එසේම තමන්ගේ මරණයේදී ඒවා අතහැර යෑමට ද සිදුවෙයි.
මේ තත්ත්වයන් දැන උගෙන සිටිය ද එය සිතින් අත් හැරීමට “සිත” ඉඩ නොදෙන්නේ තණ්හාව නිසාය.
සමහරු තමන් සතු දේපළ දූ දරුවන්ට පවරති.
ඔප්පු තිරප්පු ලියා එසේ අයිතිය පැවරුවත් මේ මගේ දේපළය යන හැඟීමෙන් සිතින් අල්ලාගෙන සිටිති.
සමහරු මෙසේ දේපළ පවරන්නේ තමන් වයස් ගත වූ විට අසනීප වූ විට ඔවුන් තමන්ට සාත්තු සප්පායම් කරනු ඇතැයි බලාපොරොත්තු තබා ගෙනය.
එක් අතකින් බලන විට එසේ ගෙවල් දොරවල් ඉඩ කඩම් ලබාගන්නා දූ දරුවන්ට එවැනි යුතුකමක් ද ඇත.
තමන් හදා වඩා ගත් හා දේපළ පවරා දුන් මව් පිය වැඩිහිටියන් පෝෂණය කිරීම හා රැකබලා ගැනීම එවන් දරුවන්ගේ යුතුකමකි.
වගකීමකි. එය සෑම ආගමකින්ම උගන්වන යහපත් ධර්මතාවක් ද වෙයි. එපමණක් ද නොව මව්පිය වැඩිහිටියන් මළ පසු ඔවුන්ගේ පරලොව යහපත් කිරිමට පින් දහම් කොට පින් අනුමෝදන් කිරීම ද, ගුණ අනුස්මරණය කිරීම ද යහපත් චාරිත්‍ර ධර්මයකි.
බොහෝ වැඩි හිටියෝ ඒ චාරිත්‍ර ධර්ම දරුවන්ගෙන් බලාපොරොත්තු වෙති.
ගිරිඋල්ලේ නන්දනී හැටපස් හැවිරිදි තුන්දරු මවකි.
ඇගේ සැමියා මීට වසර දෙකකට පෙර මිය ගොස් ඇත. ඉන්පසු ඔවුන්ගේ නිවසේ අස්වභාවික සද්ද බද්ද ඇසෙන්නට විය.
දුර්ගන්ධයක් පැතිරෙන්නට විය. සරමක් ඇන්ද පිරිමියෙකු ගේ කවන්ධ රූපයක් ගෙදර හතර පස් දෙනාම දැක ඇත.
නන්දනීගේ සැමියා මැරෙන්නට කලින් ද මේ නිවසේ මේ තත්ත්වයන් පැවතියේය. ඒ නිසා නන්දනීගේ දරුවෝත් නිතර අසනීප වෙන්නට වූහ.
වෛද්‍ය ප්‍රතිකාර හා විවිධ ශාන්ති කර්මවලින් ද ඔවුන්ට සහනයක් නොවීය. අන්තිමට ඔවුහු ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය සොයා ගෙන පැමිණියහ. ආධ්‍යාත්මීය උපදේශකවරයා මුණ ගැසී තමන්ට එළඹ ඇති උපද්‍රව හෙළිදරව් කළහ.
පළමු දිනයේම නන්දනී තුළින් අමනුෂ්‍ය බලපෑමක් අනාවරණය වීම නිසා දින විසි එකක් පන්සලේදී බෝධි පූජා පවත්වා එන්නැයි ගවේෂකවරයා ඔවුනට නියම කළේය.
බෝධි පූජා අවසන් කොට නැවත පැමිණි දිනයේ නන්දනීගේ ශරීරියට භූතාත්මයක් ආවිශ්ට වී කතා කරන්නට විය. ගවේෂකවරයා භූතාත්මයෙන් ප්‍රශ්න කරන්නට වූයේය.
“කවුද මේ ශරීරයට රිංගා ගෙන ඉන්නේ?”
“මම රතු අප්පු”
භූතාත්මය කීවේය.
“කවුද රතු අප්පුයි කියන්නේ?”
“මේකිගේ තාත්තා”
“ඇයි මේ දුවට කරදර කරන්නේ?”
“මේකිව මරන්න.”
“ඇයි දුවව මරන්නේ”
“මහත්තයා ! මේකි මගේ එකම දරුවා. මගේ මුළු දේපළම මේකිට දුන්නා. කුඹුරු ඉඩම් අක්කර දහයයි. ගොඩ ඉඩම් අක්කර හයයි. මගේ මහ ගෙදරත් මේකිට දීලා ඊට එහායින් පුංචි ගෙයක් හදාගෙන මම හිටියේ. ඒත් මේකි මට සැලකුවේ නෑ. මම කුසගින්නේමයි මැරුණේ.
මම මළාට හත් දවසේ දානෙ දුන්නා. තුන් මාසෙ දානෙ දුන්නා. ඒත් අවුරුද්දෙ දානෙ දුන්නේ නෑ. ඉන්පස්සේ මාව අමතක කර දැම්මා. ඒ තරහට තමයි මම මේ මේකිගෙන් එකින් එක පළිගන්නේ”
“එකින් එක කිව්වේ…? ”
ගවේෂකවරයා භූතාත්මයෙන් විමසුවේය.
“ඇයි මම මේකිගෙ මිනිහව මැරුවා.”
“කොහොමද ඔබ බෑනව මැරුවේ”
“පපුවේ නහරයක් තද කළා. මිරිකුවා.”
“ඔබට බඩු මට්ටු හොල්ලන්නත් පුළුවන්ද?”
“පුළුවන්”
“එහෙම නම් මෙතැන තියෙන දෙයක් පෙරලලා පෙන්නන්න.”
“බැහැ”
“ඒ මොකද බැරි?”
“මෙතැන එහෙම කරන්න බැහැ. මෙතැන මං වගේම අය හුඟ දෙනෙක් ඉන්නවා. ඒ අය මට ගහලා එළවාවි. අනිත් කාරණේ ඔබ තුමා ඉදිරියේ මට එහෙම කරන්න බෑ. මගේ වැඩ බලන්න ඕනෑ නම් මේකිගේ ගෙදර මම ඕන දෙයක් කරන්නම් ඒක ඇත්ත ද කියලා හෙට මේකිගෙන් අහලා බලන්න”
ගවේෂකවරයා ඉදිරියේ භූතාත්මය කීවේය.
“ඔබ හෙට මොනවද කරන්නේ?”
“හෙට නොවෙයි අද රෑට මම මුන්ගේ පිඟන් රාක්කය හොල්ලනවා. මහත්තයාට හෙට උදේම ආරංචි වේවි”
භූතාත්මය කෝපයෙන් කතා කරන බව තේරුම්ගත් ගවේෂකවරයා නන්දනීට තවත් සතියකට පසු නැවත එන්නැයි උපදෙස් දුන්නේය.
එදින රාත්‍රියේ කුස්සියේ පිඟන් රාක්කය වේගයෙන් සෙලවුණු බවත් පිඟන් දෙකක් බිම වැටී බිඳී ගිය බවත් ඊට අමතරව සාලයේ කැබිනට්ටුව සෙලවී ඒ ඇතුළත තිබු වීදුරු ද බිඳී ගිය බවත් නන්දනී පසුදිනම උදේ දුරකථනයෙන් ගවේෂකවරයාට දැනුම් දුන්නේය.
සතියකට පසු ඔවුහු නැවත පැමිණියහ. එතැනදි ගවේෂකවරයා නන්දනීගේ පියා ගැන ඇගෙන් විමසුවේය. ඔහු ගමේ වැදගතෙකු ලෙස ජීවත්ව සිටි කෙනෙකු බව ඇය ගවේෂකවරයාට කීවාය. එදින ද නන්දනීට පියාගේ භූතාත්මය ආවිශ්ට කරවා ගවේෂකවරයා භූතාත්මය සමඟ කතා කළේය.
“ඔබ ගමේ වැදගත් විදිහට ජීවත් වූ කෙනෙක් බව මට ආරචිංයි.”
“ඔව් මහත්මයා, එකම දරුවා නිසා මම මේකිට මගේ ඔක්කොම දේපළ ලියලා දුන්නාම මේකි මට නොසලකා හැරියා. මම පුංචි ගෙයක් හදාගෙන තනියම ජීවත් වුණා. අන්තිමට කුස ගින්නේම මැරුණා.ඉතින් ඒකට මේකිගෙන් පළිගන්නවා.”
“එහෙම කරන්න එපා. ඔබට ඕිනෑම දෙයක් මම ලබා දෙන්නම්.”
“එහෙනම් තවත් ජීවිතයක් දෙන්න. මට මිනිස් බිල්ලක් දෙන්න.”
“එපා එහෙම කළොත් ඔබට දේවත්වයක් ලබාගන්න බැරිවෙනවා. මට ඕනෑ ඔබ දෙවියෙක් කරන්න.”
“දෙවියෙක්?”
“ඔව් දෙවියෙක් කරන්න. ඔබේම දේපළ වලින්ම දන් පින් කරවා දෙවියෙක් කරන්න. පුළුවන්.”
එසේ කී ගවේශකවරයා නන්දනී පියවි සිහියට පත් කොට නිවසට භික්ෂූන් වහන්සේලා විසි නමක් වඩම්මා සාංඝික දානයක් පිරිනමා පියාට පින් අනුමෝදන් කොට එන්නැ යි නියම කළේය.
දානය පිරිනමා සතියකින් යළිත් ඔවුුහු පැමිණියහ.
තාත්තා වැනි වයස් ගත වැඩිහිටියන් සිටින මහලු නිවාසයකට දහවල් දානයක් පිරිනමා පියාට පින් අනුමෝදන් කොට සතියකින් නැවත එන්නැයි ගවේෂකවරයා යළි ඔවුන්ට කීවේය.
ඒ සමඟම නිවසේ දුර්ගන්ධය ඉවත්ව සද්ද බද්ද නතර වී තිබුණි. ඊළඟට තාත්තාගේ කුඹුරු ගොවිතැන් වල සහල්වලින් දිනකට බත් පාර්සල් දහය බැගින් දින දහහතරක් දුගියන්ට පිරිනමන ලෙස ද ගවේෂකවරයා නන්දනීට කීවේය.
ඒ වන විට පවුලට එළැඹ තිබු සියලු දුක් කරදර සංසිඳී තිබුණි. පියා මිය ගිය දිනය නිමිති කොට සෑම අවුරුද්දකම නිවසේ බණක් කියවා දානයක් පිරිනමන ගවේෂකවරයා ලෙස නන්දනීට නියම කළේය. එසේ නොකළහොත් යළි නිවසට එන්නට භූතාත්මයට අවසර ද දුන්නේය.
අවසන් වරට නන්දනීට ආවිශ්ට වූ භූතාත්මය ගවේෂකවරයාගේ කොන්දේසිවලට එකඟ විය.
පළතුරු වට්ටියක් ගෙන්වා භූතාත්මය එයට සම්බන්ධ කොට ඔවුන් සමඟම අනුරාධපුරයට යැවීමට ගවේෂකවරයා කටයුතු කළේ ඉන් පසුවය.
යමක් කෙනෙකුට දෙන විට අතින් මෙන්ම සිතින් ද ඒවා අතහැර දිය යුතුය. එළෙසම මව්පියන්ගේ දේපළ භුක්ති විඳින දරුවෝ ද සිය යුතුකම් චාරිත්‍ර ඉටු කළ යුතුය. එසේ නොකළහොත් ස්වභාවධර්මයා විසින් ඔවුනට දඬුවම් ලබා දෙනු ඒකාන්තය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!