පානදුර මූලික රෝහලට ඊයේ (29) දා ඩෙංගු රෝග පරීක්ෂාවක් සඳහා පැමිණි දැරියකට වැරදීමකින් බල්ලන්, පූසන් සපාකෑවිට ලබා දෙන බෙහෙතක් එන්නත් කර ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
ඩෙංගු රෝගය සම්බන්ධ පූර්ණ රුධිර පරීක්ෂාවක් සිදුකර ගැනීම සඳහා දැරිය රැගෙන ඇයගේ මව සහ ආච්චි ඊයේ (29) දා උදෑසන 6ට පමණ රෝහලට පැමිණ තිබේ.
ඊයේ පෙරවරුවේ රෝහල් බාහිර ප්‍රතිකාර අංශයේ සුනඛයින් සහ පූසන් සපාකෑමට අදාළ එන්නත් කිරීමක් සිදුකර ඇති අතර එහි රැඳී සිටි අවුරුදු 5ක් වයසැති දැරියට ද එම එන්නත ලබාදී ඇතැයි ප්‍රකාශකයා පැවසීය.
මේ බව දැනගත් දැරියගේ මව එන්නත ලබාදුන් හෙදියගෙන් විමසා ඇති අතර හෙදිය පවුලේ ගැටලූවක් පිළිබඳ කල්පනා කරමින් සිට ඇති බැවින් අත්වැරදීමක් සිදුව ඇති බව පවසා ඇය මවට බැගෑපත්ව ඇතැයි පැවසෙයි.
එන්නත ලබාදීමත් සමගින් දැරියට නින්ද ගොස් ඇති අතර බියට පත් මව නිවසට දැනුම්දීමෙන් පසුව දැරියගේ සීයා සහ නෑ හිතවතුන් පිරිසක් රෝහලට පැමිණ තිබේ. පසුව දැරිය රෝහලේ අංක 5 දරන ළමා වාට්ටුවට රැගෙන ගොස් වෛද්‍යවරියක හමුවට පමුණුවා තිබේ.
රෝහල් කාර්ය මණ්ඩලයේ කිහිපදෙනකු එක්වී පවුලේ අයට බැගෑපත්වී දැරියව රැගෙන නිවසට යන ලෙස උපදෙස් දී ඇති බවත් කිසිවක් කරකියාගත නොහැකිව ඇති අසරණ පවුලේ උදවිය ති‍්‍රරෝද රථයක නැගි පිටව ගිය බවත් රෝහල් ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.