පොල්ගස්දුව ආරණ්‍ය සේනාසනයේ භාවනානුයෝගීව වැඩ සිටියදී අභිරහස් ලෙස අපවත් වූ නෙදර්ලන්ත ජාතික හිමිනමගේ මරණය සම්බන්ධයෙන් පැවැත්වූ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී විවෘත තීන්දුවක් ලබාදී ඇති බව රත්ගම පොලිසිය පවසයි.
මියගිය හිමිනමගේ පශ්චාත් මරණ පරීක්ෂණය පෙරේදා (10 දා) පස්වරුවේ දී ගාල්ල කරාපිටිය වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය අංශයේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි ජානකී වරුෂාහැන්නදි මහත්මිය විසින් කරන ලදී.
මළ සිරුරේ කොටස් වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා රජයේ රස පරීක්ෂක වෙත යොමු කිරීමට තීන්දු කර ඇති බැව් රත්ගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රභාත් විතාන මහතා පැවසීය. මෙකී මරණය සම්බන්ධ පරීක්ෂණ පැවැත්වීම සඳහා පොලිස් කණ්ඩායම් තුනක් යොදවා ඇති බව ද පොලිසිය පවසයි.
ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය, රත්ගම පොලිසියේ අපරාධ විමර්ශන අංශය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කණ්ඩායමක් මරණය පිළිබඳ පැති කිහිපයක් ඔස්සේ පුළුල් විමර්ශනයක් සිදුකරති. පොලිස් කණ්ඩායම්වලට සම්බන්ධ පරීක්ෂණ නිලධාරීහු 10 වැනිදා පොල්ගස්දුව ආරණ්‍යයට ගොස් මේ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කළහ. පොල්ගස්දුව ආරණ්‍යයේ ඇති කුටියක භාවනානුයෝගීව වැඩ සිට නෙදර්ලන්තයේ ජිනවංග නමැති හිමිනමගේ මෘතදේහය රත්ගම කළපුවේ තිබී ඉකුත් 08 වැනිදා රත්ගම පොලිසිය මගින් සොයාගනු ලැබීය.
මෙම හිමිනමගේ මෘතදේහය ගොඩගන්නා අවස්ථාවේ පාද දෙකේ ගල්දෙකක් ලණුවකින් ගැට ගසා තිබූ බව පොලිසිය පවසයි. එක් පාදයක ගැට ගසා තිබූ ගල ගැලවී ගොස් තිබූ අතර මෙම හිමිනම හොදින් පිහිනීමට හැකියාව තිබූ බවද පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. මෙම හිමියන් කළපුව ආසන්නයේ ඇති කුටියක භාවනානුයෝගිව වැඩ සිට තිබේ.