ඇය නිතරම වෙනස් විදිහකට හිතන්න උත්සාහ දරන චරිතයක්. එ් වගේම දිගු නිහැඬියාව හරියට අගයනවා. ඇය නිහඬව සිටින විට ඇය වටා සිටින පිරිස ඇය මොනවාද කරන්නේ කියලා සොයා බලනවා. එහි ප්‍රතිඵලයක් හැටියට ඇය දිගු නිහැඬියාව බිඳිමින් රිදී තිරයට ගොඩවෙනවා. ඇය ඔයාලා කවුරුත් දන්න නිරෝෂා පෙරේරා. අද අපේ කතානායිකාව ඇයයි.
කොරෝනා වසංගතයත් සමග නිරෝෂාගේ වැඩි සද්ද බද්දයක් නැහැනේද?
ඒකට ඔව් කියන්නත් බැහැ.
අලූත් වැඩ කිහිපයකට අතගැසුවා කියලත් ආරංචියි ?
ඔව්. ඔව්. ඒ කතාව ඇත්ත. රටේ තිබුණ තත්ත්වයත් එක්ක පහුවුණ වැඩත් තිබුණා. කොරෝනා වසංගතයත් සමගත් වැඩ කිහිපයක් ප්‍රමාද වුණා.
පසුගිය කාලයේ නාලිකා කිහිපයකින් මට මාධ්‍ය වැඩසටහන් කිහිපයකට කතා කළා. හැබැයි මොකක් හරි එක අඩුපාඩුවක් එ් දේවල්වලින් දැක්කා. එ්ක නිසා එ් දේවල් භාරගත්තේ නැහැ. නමුත් ඉදිරියේදී වැඩ කිහිපයක් කරන්න භාරගත්තා. හැබැයි හැමදේකම පෙර නිෂ්පාදනයක් කියලත් දෙයක් තියෙනවානේ.
මම දෙයක් කරන කොට හොඳට සැලසුම් කරනවා. අනික මම වැඩකට කල්ගන්නවා කියන කතාවේ ප්‍රශ්නයක් නැහැ. අපි හිතන්න ඕනෑ කොන්ටිටි එක නෙමෙයි. කොලිටි එකයි.
ඇයි මේ හරියට කොලිටි එක බලන්නේ ?
අපි කරන දේවල්වල ගණන නෙමෙයි වැදගත්. කරන දේ වටිනාකම එහෙමත් නැතිනම් කොච්චර හොඳට කරනවාද කියන එකයි වැදගත්. කොච්චර අලූත් දෙයක්ද?.
මම පුරුදු වෙලා තියෙන්නේ හැම තිස්සේම අලූත් දෙයක් කරන්න. එහෙමත් නැතිනම් වෙනස් දෙයක් කරන්න. මම වෙනස් දෙයක් කළාට පස්සේ ඒක අනෙක් අය කොපි කරන්න පුළුවන්. එ්ක තමයි වෙන්න ඕනෑ. ඇත්තටම මම වැඩක් භාර ගනිද්දි දුරදිග බලනවා. මොකද මට අකමැත්තෙන් දෙයක් කරන්න බැහැ. භාගෙට කරන්නත් බැහැ. කරන්නන් වාලේ කරන්නත් බැහැ.
මෙදා පාර භාරගත්තු අලූත්ම වැඬේ ගැන කතා කළොත් ?
කිය කියා ඉන්නේ නැතිව කරලා පෙන්නුවහමනේ හරි. එ්ක තමයි හොඳම දෙය. ඇත්තටම පසුගිය කාලයේ වැඩ කරපු නැති ප්‍රධාන හේතුවක් තිබුණා.
ඒ මොකක්ද?
මම හොංකොං ගිහිල්ලා ඇඳුම් නිර්මාණ ශිල්පය කියන විෂය ඉගෙන ගත්තේ. එ්කට හේතුව තමයි මගේ නංගි ඉරෝෂාට ඇඟලූම් ව්‍යාපාර තියෙනවා. ඉතිං මම එ් ගැන වැඩිපුර ඉගෙන ගත්තා. එ්ක හොඳ නිසා. අනෙක් කාරණාව තමයි මට ආපු ආරාධනාවල මොකක් හරි අඩුපාඩුවක් දැක්කා. ඊට පස්සේ රටේ තත්ත්වයත් බලපෑවා.
මේ දිනවල අලූත් චිත්‍රපටයකට ලෑස්ති වෙනවා නේද?
ඔව්. මම මේ දිනවල චිත්රපටයකයට සූදානම් වෙනවා. එ් වෙනුවෙන් මම ගොඩක් මහන්සි වෙනවා.
මේ ආරාධනාව ලැබුණෙ කාගෙන්ද?
එ්ක මම දැන්ම කියන්න හොඳ නැහැ නේද?. එ් කතාව ඔවුන්ම කිව්වහම තමයි හොඳ. මේකට සම්බන්ධ කණ්ඩායම දන්නවා මේ වැඬේ වෙන විදිහ.
පෙනුම එමෙමත් වෙනස් වෙනවා කියන කතාව ඇත්තද?
අන්න හරි. මේ චරිතයට මම ගොඩක් දේවල් වෙනස් කරන්න ඕනෑ.
කොච්චර කාලයකට පස්සේද චිත්‍රපටයක් භාරගත්තේ ?
ඇත්තටම අවුරුදු ගණනාවකට පස්සේ තමයි වැඩක් භාරගත්තේ. මම එහෙමයි කියලා චිත්‍රපට කරන කෙනෙකුත් නෙමෙයිනේ. එ් වුණත් මට හැමදාම චිත්‍රපටවලටත් ආරාධනා ලැබෙන්නෙත් නැහැනේ. බොරු කියන්න ඕනෑ නැහැ.
හැබැයි මට ලැබෙන චිත්‍රපටවල දැවැන්ත චරිත තමයි ලැබෙන්නේ. හොඳ රංගනයක් කරන්න පුළුවන් වගේම මගේ රංගන කුසලතා එළිදක්වන්නත් පුළුවන්. ඇත්තටම එහෙම හොඳ චිත්‍රපට කිහිපයක් තෝරාගෙන තිබෙනවා. එ්වා ටිකක් කල් ගිහිල්ලා තියෙනවා. එ්වා අනිවාර්යයෙන්ම අනාගතයේදී සිද්ධවේවි. මම එක වෙලාවකට කරන්නේ එක චිත්‍රපටයයි. එ්ක ඉවරවෙල තමයි තව චරිතයක් කරන්නේ. අනික මම කැමැති නෑ එකම වෙලාවේ චරිත දෙක තුනක් කරන්න.
මෙවර ලැබුණ චරිතය ගැන ඇත්තටම සෑහීමකට පත්වෙනවාද?
මම දෙයක් තෘප්තිමත් නම් තමයි භාරගන්නේ. මම පිටපත කියවලා ඉවරවුණහම ගොඩක් දේවල් සම්බන්ධයෙන් තෘප්තිමත් වෙන්න ඕනෑ. මම තෘප්තිමත් නැතිනම් කිසිදෙයක් භාරගන්නේ නැහැ.
දිගු නිහැඬියාව පාඩුවක් නේද?
මම වාසි ආවසි බලාගෙන දේවල් කරන චරිතයක් නෙමෙයි. මම නිහඬයි කියලා කෙනෙකුට තේරුණා නම් එ්කෙන් අදහස් වෙන්නේ මාව හොයනවා කියන එකනේ. එ් කියන්නේ නිරෝෂා නැහැයි කියලා තේරිලා තියෙනවා. මෙයා මොනවාද කරන්නේ. ඇයි මෙයා නැත්තේ. මට රසික පිරිසක් ඉන්නවා. නිහඬව ඉන්නවා කියලා මටත් තේරිලා තියෙනවා.
නිහැඬියාව බිඳිමින් යළි එන විට ඔබට ලැබෙන්නේ මොනවගේ ප්‍රතිචාරද?
මම නිහඬවෙලා ඉන්නකොට මටම තේරිලා තියෙනවා කට්ටිය මාව හොයන්න පටන් ගන්නවා කියලා.
සමහරු හිතනවා ඇති මම වැඩකරන්නේ නැහැ කියලා. හැබැයි මොකක් හරි දෙයකට මාව වුවමනා වුණහම එ් කෙනා මොනයම් හරි මාර්ගයකින් මාව හොයාගන්නවා. එ්ක තමයි හැටි. මිනිස්සුන්ට පෙනෙන්නේ අපි ටෙලිවිෂන් එකේ හරි තිරයේදී හරි කරන ටික විතරයිනේ.
ඊට අමතර අපේ ජීවිතයේ තව දේවල් තියෙනවා. මම හැම තිස්සේම දෙයක් ඉගෙන ගන්න උත්සාහ කරනවා. මම හැමතිස්සේම මගේ මානසික සුවය ගැන සතුට ගැන හිතන කෙනෙක්.
අනික මට එක දිගට වැඩ කරන්න ඕනෑ කියලා තරගයක් නැහැ. මම මගේ පාඩුවේ මම කැමැති දෙයක් කර ගෙන ඉන්න චරිතයක්. එ්ක එදත් එහෙමයි. අදත් එහෙමයි. හෙටත් එහෙමයි. මම දෙයකට බැහැ කිව්වාට පස්සේ එ්ක කොහොමද වෙන්නෙ කියන කාරණාවත් මට අදාළ නැහැ.
යම් දෙයකින් ඈත්වෙලා හිටියාට පස්සේ ගොඩක් දේවල් දැනගන්න පුළුවන්. මට කැමැති වෙලාවට මට ඕනෑ දේ කරන චරිතයක් මම.
උපුටා ගැනීම – දිවයින පුවත්පත