මෙදාපාර පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන්ට ගිනි අවි පුහුණුවක් ලබාදීලා කියන කාරණය මේවන විට අලුතෙන්ම කතා බහට ලක්වන මාතෘකාව වෙලා. අප වෙත වාර්තා වන අන්දමට මේ ගිනි අවි පුහුණුවට මන්ත්‍රීවරුන් 35 දෙනෙකු පමණ සහභාගි වෙලා තියෙනවා. මේ පුහුණුව ලබාදී ඇත්තේ කටුකුරුන්ද පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේදියි.
මන්ත්‍රීවරුන්ට මෙහෙම ගිනි අවි පුහුණුව ලබාදී ඇත්තේ ඇයිදැයි කියන එකත් දැන් ප්‍රශ්නයක් වෙලා. ත්‍රස්තවාදය පැවැති කාලයේදී මන්ත්‍රීවරුන්ට මෙහෙම ගිනි අවි පුහුණුව ලබාදීලා තියෙනවා. ඒ වෙන මොකටවත් නොවෙයි එදා පැවැති තත්ත්වය අනූව එවැනි ආරක්ෂාවක් වෙනුවෙන් සුදානම් වීම සඳහායි.
කොහොම කොහොම හරි දැන් යුද්ධයක් නෑනේ. රටේ ආරක්ෂාවත් යහපත් මට්ටමක තිබියදීත්, මන්ත්‍රීවරයෙකුගේ ආරක්ෂාවට නිලධාරින් දෙදෙනෙකු ලබාදී තිබියදීත් මෙවැනි ආරක්ෂාවක් ලබාදීම ගැන නැවතත් කතා බහක් මතුවෙලා තියෙනවා. මේ ගැන අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකු වන දිනේෂ් ගුණවර්ධන මහතා පවසා ඇත්තේ රටේ ආරක්ෂාව බරපතළ තත්ත්වයක නැතිව තිබියදී මෙහෙම අවි පුහුණුවක් කුමකටද යන්නයි.
මේ අතර නවක මන්ත්‍රීවරුන්ට සිය වගකීම් පිළිබඳ පුහුණුවක් ලබාදීම වෙනුවට ආයුද පුහුණුවක් ලබාදීම මහජන මුදල් නාස්තියක් යැයි ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය කියනවා.විශේෂයෙන්ම ප්‍රචණ්ඩකාරී වාතාවරණයක් නොමැති සාමකාමී සමයක මන්ත්‍රීවරුන්ට අවි පුහුණුවක් අවශ්‍ය මන්දැයි යන්න ප්‍රශ්නයක් බවත්, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයේ මාධ්‍ය ප්‍රකාශක ශාන් විජේතුංග මහතා විමසා තිබෙනවා.
“මන්ත්‍රීවරුන්ට තමන්ගේ ආරක්ෂාවට ආරක්ෂකයන් දෙදෙනෙක් ලබා දීලා තිබෙනවා. ඒ ආරක්ෂකයන්ට අමතරව ඔවුන් තමන්ට ලබා දෙන අවිය භාවිතා කිරීමට පුහුණු වීම බරපතළ ගැටළුවක්,” ඒ ඔහුගේ අදහසයි. කොහොම කොහොම වුණත් වත්මන් රජයේ නියෝජ්‍ය ඇමතිවරයෙකු වන අජිත් පී පෙරේරා මහතා මේ ගැන පවසා ඇත්තේ රටේ නීතිය අනුව ප්‍රභූ ආරක්ෂාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට බලපත්‍ර සහිත ගිනිඅවි ලබා දෙන බවයි.
නවක මන්ත්‍රීවරු 30ට අධික සංඛ්‍යාවක් එම ගිනිඅවි ලබාගැනීම සඳහා ඉල්ලුම් කර තිබූ බවත්, ඒ හේතුවෙන් එම ගිනිඅවි ලබාදීමට පෙර එම අවි භාවිතය ගැන විධිමත් පුහුණුවක් ඔවුන්ට ලබාදීමට කටයුතු කළ බවත් ඔහු පවසා තිබෙනවා. ගිනිඅවියක් භාවිතා කරන්නෙකු එය ආරක්ෂාකාරීව සහ විධිමත් ලෙස භාවිතා කරන්නේ කෙසේද යන්න පිළිබඳව දැන සිටිය යුතු බවයි නියෝජ්‍ය ඇමතිවරයා කියා පවසා ඇත්තේ.
