Gossip

“මට මේ ජයග්‍රහණය ලැබුණේ අවුරුදු හැට පැන්නාටත් පස්සේ. ඒක තමයි ගොඩක්ම සතුට.” – ඩයලොග් ප්‍රශංසා දෙරණ 60+ වේදිකාව ජයගත් නුවන් පෙරේරා

තරුණ පරම්පරාවට පමණක් සීමාවුණු ලංකාවේ රියැලිටි කලාව වෙනස් කළේ දෙරණ කිව්වොත් නිවැරදියි.
වයස අවුරුදු හැටට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ගායන කුසලතා එළියට ගේන්න tv දෙරණ නාළිකාවෙන් ඩයලොග් ප්‍රශංසා දෙරණ 60+ නමින් ගායන රියැලිටි වැඩසටහනක් සංවිධානය කළා.
පසුගිය 16 වැනිදා එහි තෙවැනි අදියරේ අවසන් මහා තරඟය සජීවීව දෙරණ නාළිකාව ඔස්සේ විකාශය වුණා.
මෙහි ජයග්‍රාහකයා වුණේ ඇහැළියගොඩ ප්‍රදේශයේ සිට පැමිණි නුවන් පෙරේරා මහතා. ලැබුණු ජයග්‍රහණය නුවන් පෙරේරා මහතා මේ විදිහට හඬ අවදි කළා.

ලබපු ජයග්‍රහණය ගැන මොකද හිතෙන්නේ?
මගේ ජීවිතයේ ලබපු ලොකුම ජයග්‍රහණය මේක කියලා මට හිතෙනවා. මම සංගීතයට ගොඩක් කැමති කෙනෙක්. මනුස්සයෙක්. මට මේ ජයග්‍රහණය ලැබුණේ අවුරුදු හැට පැන්නාටත් පස්සේ. ඒක තමයි ගොඩක්ම සතුට.

ජයග්‍රහණයත් එක්ක ඔබේ රසිකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ඉතාම හොඳ ප්‍රතිචාර ගොඩක් ලැබෙනවා. ජයග්‍රහණයෙන් පස්සේ මගේ ගමේ (ඇහැළියගොඩ) පිළිගැනීම් උත්සව කීපයකුත් තිබුණා.
මේ වගේ කිරුළක් ගමට කවුරුත් ගෙනල්ලා නැහැ. ඒ නිසා ගමේ මිනිස්සුන්ගෙන් ගොඩක් හොඳ ප්‍රතිචාර ගොඩක් ලැබෙනවා. ඒ වගේමයි අනිත් රසිකයන්ගෙනුත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

කලාකරුවන්ගෙන් ලැබුණු ප්‍රතිචාර කොහොමද?
මම මිල්‍ටන් පෙරේරාගේ සින්දු කිව්වේ. මිල්ටන් පෙරේරාගේ පුත්තු දෙන්නාගෙන්ම මට හොඳ ප්‍රතිචාර ලැබුණා. මිල්ටන් පෙරේරා මහත්මයාගේ එක පුතෙක් වෙන චලක චමුපති එක්කත් මම දෙරණ 60+ තරගාවලියේදී ගීතයක් ගායනා කළා.
ඒ වගේම විනිශ්චය මණ්ඩලයේ රෝහණ බෝගොඩ, එඩ්වඩ් ජයකොඩි යන මහත්වරුන් වගේම ශශිකා නිසංසලා මහත්මිය මට ගොඩක් ගුරුහරුකම් දුන්නා. මගේ අඩුපාඩු හදාගෙන ඉදිරියට යන්න එයාලා උදවු උපකාර කළා.

ඩයලොග් ප්‍රශංසා දෙරණ 60+ ජයග්‍රහණයට කලින් ගායන ක්ෂේත්‍රයට එන උත්සාහ කළේ නැද්ද?
ගොඩක් උත්සාහ කළා. ඒත් අපි තරුණ කාලේ තාක්ෂණය දියුණු නැහැ. ඒ වගේම අපිට මේ වගේ අවස්ථාවන් ලැබුණේ නැහැ.
ඒ නිසා මට මේ වගේ ජනප්‍රියත්වයක් ලැබුණේ නැහැ. නමුත් මම තරුණ කාලේ ඉඳන්ම සංගීත සන්දර්ශනවල සින්දු කිව්වා. ගම් පළාතේ මාව ප්‍රසිද්ධයි ගීත ගායනා කරනවා කියලා. මම මිල්ටන් පෙරේරා මහත්මයාට උපහාර පිණිස ඒක පුද්ගල සංගීත ප්‍රසංග දෙකක් කළා ඇහැලියගොඩයි නුගේගොඩයි.

සිංදුවක් කරන්න බලාපොරොත්තුවක් නැද්ද?
තියෙනවා. ඒත් දැන්මම සින්දුවක් කරන්න බලාපොරොත්තුවක් නැහැ.

ඒකට හේතුව මොකක්ද?
තරගය ඉවර වුණා වුණා විතරයිනේ. ටික කාලයක් මේ උණුසුම තිබුණාවේ.

ගීතයක් කරන්න ආරාධනා ඇවිත් තියෙනවාද?
ආරාධනා ඇවිත් තියෙනවා. මගේ හිතවතුන් කීපදෙනෙක්ම උදවු කරන්න ඉදිරිපත් වුණා. ඉදිරියේදී බලමුකෝ.

ඔබේ පවුලේ විස්තර මොනාද?
මගේ පවුලේ ඉන්නේ මමයි මගේ බිරිඳයි මගේ පුතායි. පුතා දැනට පෞද්ගලික ආයතනයක කළමනාකරුවෙක් වශයෙන් සේවය කරනවා. මට අවුරුදු 2, 4 වයස්වල මුනුබුරෝ දෙන්නෙක් ඉන්නවා.

ඔබට ස්තූතියි කරන්න අය ඇති. මේ ඒකට අවස්ථාවක්.
මම සේවය කළේ රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ. මේ ජයග්‍රහණයට කලින් මට මුද්‍රණ දෙපාර්තමේන්තුවෙන් ආරාධනා කරලා මාව ගෙන්නගෙන මට විශාල සහයෝගයක් ලබාදුන්නා. ‍
රජයේ මුද්‍රණාලාධිපතිනි ගංගානි ලියනගේ මහත්මිය ඇතුළු කාර්ය මණ්ඩලයට ස්තූතිවන්ත වෙනවා.
ඒ වගේම දෙරණ නාළිකාවේ කාර්ය මණ්ඩලයත් මතක් කරන්න ඕනේ. රොකී ප්‍රමුඛ අසනි සංහීත කණ්ඩායම මට විශාල සහයෝගයක් ලබාදුන්නා තරගයෙන් ඉදිරියට යන්න.
ඒ වගේම මගේ පවුලේ සියලු දෙනාටත් මගේ ප්‍රේක්ෂකයෝ හැමදෙනාටමත් හදවතින්ම ස්තූතියි කියනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!