Gossip

මිත්තනිය සහ මව ගෙදර සිටිද්දී දරුවාට ගණිත ගුරුවරයාගෙන් අතවර කරලා…

උපකාරක පන්ති පවත්වන මුවාවෙන් 12 හැවිරිදි සිසු දරුවකුට අපයෝජනයක් සිදු කරන ලදැයි කියන සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගත් ගණිත ගුරුවරයා සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා පැවසීය.

එම ගණිත ගුරුවරයා සම්බන්ධයෙන් එම දරුවා සහ දෙමාපියන් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකාර 29 හැවිරිදි ගණිත ගුරුවරයා කොටුකරගත් බවද හෙතෙම කීය.

2018 වසරේ සිට මෙම අපයෝජනය සිසු දරුවාට සිදුව ඇති අතර තමාට ගුරුවරයාගෙන් සිදුවන අතවරයන් ගැන එම සිසුවා මිතුරකුට කියා තිබේ. අනතුරුව එම මිතුරා අතවරයට ලක්වූ බව කියන සිසුවාගේ දෙමාපියන් වෙත පවසා ඇත.

මෙම ගුරුවරයා සිසු දරුවාගේ කාමරය තුළදී පන්ති පවත්වා තිබේ. මුලදී කාමරයේ ජනෙල්, දොරගුළු හැරදමා පන්ති පවත්වාගෙන  ගොස් ඇති බවත්, පසුව ඔහු දොරගුළු වසාගෙන පන්ති පවත්වා ඇති අතර ඔහු එහිදී දරුවාට අසභ්‍ය චිත‍්‍රපට පෙන්වා ඇති බවත් හෙළිවිණැයිද එම ඒකකය කියයි.

දරුවා මෙම අපයෝජනයන්ට ලක්වන අවස්ථාවන් හිදී දරුවාගේ මව සහ මිත්තණිය නිවසේ සිට ඇති බවත්, එහෙත් මෙම තත්ත්වය වළක්වා ගැනීමට ඔවුන් දැනුවත් නොවීම කනගාටුවට කරුණක් බවත් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා පැවසීය.

සිය පියාගේ මිතුරකු විසින් සොයාදුන් ගුරුවරයකු නිසාත්, සිදුවුණු දේවල් දෙමාපියන්ට නොපවසන ලෙසට අදාළ ගුරුවරයා කළ බලපෑම් නිසා ඒ ගැන දෙමාපියන්ට නොපවසා සිටි බවත් එම දරුවා පැවසී යැයිද සභාපතිවරයා කීය.

සැකකාර ගුරුවරයා අධිකරණයට ඉදිරිපත් කරන බවත්, දරුවා මනෝ සාමාජීය ප‍්‍රතිකාර සඳහා යොමු කළ බවත් සභාපතිවරයා කියා සිටියේය.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!