සිය සැමියා සතු රුපියල් කෝටි ගණනක් වටිනා මිල මුදල, රන් භාණ්ඩ, යාන වාහන ඇතුළු දේපළ ද රැගෙන අනියම් පෙම්වතා සමග පලාගොස් ඇතැයි කියන 29 හැවිරිදි රූමත් කාන්තාවක් අත්අඩංගුවට ගැනීම සඳහා අරණායක පොලිසිය පරීක්ෂණ පවත්වයි.
අරණායක දොතල්ඔය වත්තේ පදිංචි මෙම රූමත් කාන්තාවගේ සැමියා කෑගල්ල රිමාන්ඞ් බන්ධනාගාරයේ සිර දඬුවම් විඳිමින් සිටියදී දොතල්ඔය වත්තේ පදිංචි 29 හැවිරිදි තරුණයකු සමග මෙම කාන්තාව අනියම් පේ‍්‍රම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති බවත් සිර දඬුවම් විඳිමින් සිටි සැමියා නිදහස් වී පැමිණීමට දින දෙකක් තිබියදී අනියම් පෙම්වතා සමග ඇය පැන ගොස් ඇති බවත් සඳහන්ය.
මෙම කාන්තාවගේ සැමියා විසින් ඇයගේ නමට මිලදී ගෙන තිබූ ජීප් රථයක්, කැබ් රථයක්, ත්‍රී රෝද රථයක් සහ ලොරි රථයක් ද රන් මාල, මුදු, වළලූ ඇතුළු පවුම් 70ක් පමණ බර රන් භාණ්ඩ තොගයක් ද අනියම් පෙම්වතා සමග එක් වී රැගෙන ගොස් ඇති බව සඳහන්ය.
දොළොස්බාගේ දෝතල්ඔය වත්ත පදිංචි 35 හැවිරිදි අයකු විසින් අරණායක පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව පරීක්ෂණ පැවැත්වෙයි.
ඇය එසේ ගොස් ඇත්තේ තමාගේ 13 හැවිරිදි හා 6 හැවිරිදි දරු දෙදෙනා ද කැටුව බවත් එසේ ගොස් ඇත්තේ තමා සතු පවුම් 70 ක් පමණ බර මාල, අත් පළඳනා, මුදු, කරාබු ඇතුළු රන් භාණ්ඩ හා රථ වාහන කිහිපයක් හා නිවසේ තිබූ වටිනා බඩු බාහිර ආදිය ද රැගෙන බවත් සඳහන් කර තිබේ.
තවද සිය බිරිඳ කිරි ගවයන් ඇති කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට අරණායක ගංතුන උඩගම හඳබිම ජනපදයේ අයකුගෙන් රුපියල් ලක්ෂ පහළොවක මුදලක් ලබා ගෙන ඇති බව ද ඒ සම්බන්ධයෙන් 2020 මැයි මස 28 වැනිදා පොරොන්දු නෝට්ටුවක් අත්සන් කර ආදාළ රුපියල් ලක්ෂ පහළොවක ණය මුදල ලබාගෙන ඇති බව ද පැමිණිල්ලේ සඳහන් කර තිබේ.
අරණායක පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බුද්ධික පනාවෙල මහතාගේ උපදෙස් මත විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක රාජක්ෂ මහතා ඇතුළු නිලධාරි කණ්ඩායමක් සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන පවත්වති.
අරණායක ප්‍රදීප් කුමාර ධර්මරත්න
