Gossip

දකුණේ ජනතාව දෙවියකු මෙන් සලකන උතුරේ දොස්තර මහත්තයා.. ‘‘ මට දියවැඩියාව හැදිලා දකුණු ඇහැ නරක්ම වෙලා ගියා. වම් ඇහැ බේරලා දුන්නේ මේ දොස්තර මහත්තයා තමයි”

උතුරේ දෙමළ දේශපාලනඥයෝ යාපනයට වී ජාතිවාදී අදහස් වලින් මිනිසුන්ගේ මනස පුරවන අතරවාරයේ දකුණේ සිංහල ජනතාවගේ සිත් තුළ පැළපදියම් වූ දෙමළ වෛද්‍යවරයෙකු පිළිබද තොරතුරු රැසක්ම වාර්තා වෙමින් පවතී.

යාපනය ශික්ෂණ රෝහලේ අක්ෂි වාට්ටුවේ සේවය කරන අක්ෂි වෛද්‍ය විශේෂඥ මුත්තුසාමී මලවරන් මහතා පිළිබද කතා බහ කරන්නේ යාපනයේ හෝ උතුරේ ජනතාව නොවේ.

අනුරාධපුරය මැදවච්චිය පදවිය කැබිතිගොල්ලෑව වැනි සිංහල ගොවි ගම්මාන වල දුප්පත් ගැමියෝ මේ අක්ෂි වෛද්‍යවරයාව සලකනු ලබන්නේ දෙවියෙකු ලෙසයි.

මැදවච්චියේ ඩබ්ලිව්.ඒ.විජේසිරි මහතා අක්ෂි රෝගියෙකු වී ඇත්තේ දියවැඩියා රෝගය නිසාය. ඔහුගේ ඇස් දෙකම අන්ධ වීමට ගිය අවස්ථාවේදී ඔහුට එක් ඇසක් බේරා දී ඇත්තේ මේ වෛද්‍යවරයාය.

‘‘ මට දියවැඩියාව හැදිලා දකුණු ඇහැ නරක්ම වෙලා ගියා. වම් ඇහැ බේරලා දුන්නේ මේ දොස්තර මහත්තයා තමයි. මට ඒකට වියදමක් කියලා ගියේ යාපනයට යන්න එන්න බස් කුළිය විතරයි”

කැබිතිගොල්ලෑව වැනි පළාත් වල ජනතාවද මේ වෛද්‍යවරයාට ඉතා ඉහලින්ම ගරු කරනු ලබයි. ඔවුන් ඒ වෛද්‍යවරයා ගැන කතා කරන්නේත් දෑත් එකට එකතු කොට වැද ආචාර කරමිනි.

‘‘අපිව කිසිමදාක රස්තියාදු කරන්නේ නෑ…අපිට සල්ලි නෑ කියලා දැන ගත්තම අපේ ඇස්වලට කාච දාලා ඔපරේෂන් එක කරලා ඉක්මනින්ම ගෙවල්වලට එවනවා. ගෙදර ආවට පස්සේ අපිට ටෙලිෆෝන් කරලා අපේ තත්ත්වය ගැනත්    අහනවා.”

අපි මේ පළාත් වල ඉදලා යාපනේට ගියාම ඒ මහත්තයා අපිට හොදට සලකනවා. දෙපාරක් එන්න ඉඩ තියන්නේම නෑ..සමහර පරීක්ෂණ කරන්න සල්ලි ඕනෙම වෙනවා ඒත් මේ දොස්තර මහත්තයා කොහොම හරි ඒ පරීක්ෂණ ටික ඉස්පිරිතාලෙන්ම කරලා දෙනවා.

උතුරෙන් බැහැර සිංහල ජනතාව දෙමළ විශේෂඥ වෛද්‍යවරයා ගැන මෙසේ කතා කරන විට අපට මතක් වන්නේ යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ පී.සත්‍යමූර්තී වෛද්‍යවරයාය. ශ‍්‍රී ලංකාවේ සිටින දෙවන හොදම හා විශිෂ්ට රාජ්‍ය සේවකයාට හිමි රන් සම්මානය දිනාගෙන සිටින සත්‍යමූර්ති මහතා වවුනියාව මහ රෝහල නවීන පන්නයට ගොඩනැගීමට මූලික අඩිතාලම දැමූ අයෙකි.

ඔහු වැන්නකු යටතේ සේවය කරනු ලබන වෛද්‍යවරයාට දකුණේ සිංහලයින්ගෙන් පින් අනුමෝදන් වන්නේද සත්‍යමූර්ති වෛද්‍යවරයා යාපනය රෝහලේ අධ්‍යක්ෂවරයා වශයෙන් එම රෝහල දක්ෂ ලෙස මෙහෙයවන නිසාමය.

දිනසේන රතුගමගේ

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!