රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුත් රන් භාණ්ඩ සහිත මල්ලක් සුඛෝපභෝගී මෝටර් රථයකින් රැගෙන යමින් සිටි තරුණයකු නුගේගොඩ දෙල්කඳ හන්දියේදී අත්අඩංගුවට ගැනීමට නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන් සමත්විය.
සැකසහිත අන්දමින් පැමිණෙමින් තිබූ මෝටර් රථයක් නවත්වා දූෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් පරීක්ෂා කර තිබේ. එහිදී මල්ලක තිබී රන් භාණ්ඩ තොගයක් එම නිලධාරීන්ට හමුවී ඇත. ඔහුගෙන් වැඩිදුරටත් ප‍්‍රශ්ණ කිරීමේදී තමන්ට මෙම රන් භාණ්ඩ තම පෙම්වතියගේ මව සුරක්ෂිත ස්ථානයක තබන ලෙස පවසා ලබාදුන් බව පැවසී යැයි එම නිලධාරියෙක් පැවැසීය.
තවදුරටත් මෙම රන් භාණ්ඩ සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමේදී අදාළ රන් භාණ්ඩ දැනට මත්කුඩු සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටින ”මර්වින් ජානා” ගේ හිතවතකු විසින් අත්අඩංගුවට ගත් තරුණයාගේ පෙම්වතියගේ මවට ලබාදී ඇතැයි හෙළිවූ බවද එම නිලධාරියා කීය. එම අංශය සොයාගත් රන් භාණ්ඩ තොගය අතර, රන් මාල, වළලූ, බ්‍රේස්ලට්, කරාබු සහ රන්මුදු යනාදිය වේ. අත්අඩංගුවට ගත් 19 හැවිරිදි තරුණයාගේ පියා මත්කුඩු ජාවාරමේ නිරත ”සිරාන් බාස්ක්” නමැත්තා බව හෙළිවිණැයි ද එම නිලධාරියා කියා සිටියේය.
කෙසේ වෙතත් මෙම තරුණයා රන් භාණ්ඩ රැගෙන ගියේ සැබවින්ම කුමකටද? යන්න සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බවද හෙතෙම කීය.
මෙම තරුණයාට රන් භාණ්ඩ ලබාදුන් බව කියන කාන්තාව (පෙම්වතියගේ මව) සොයා බොරලැස්ගමුව නිවසට ගියද ඇය එම නිවසින් පලාගොස් ඇතැයි හෙළිවූ බව එම අංශය කියයි. අත්අඩංගුවට ගත් තරුණයා නුගේගොඩ මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි