සිය සැමියා ඝාතනය කිරීමේ පළිය ගැනීම සඳහා වස දී අමානි තන්ජි නමැත්තිය අංගොඩ ලොක්කා ඝාතනය කළ බව පිළිගැනීමට හැකි සාක්ෂි ලැබී ඇතැයි ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කරයි.
මියගිය පුද්ගලයාගේ (අංගොඩ ලොක්කාගේ) ඇඟිලිවල සහ නියපොතු ආශ්‍රිතව විස රසායනික තැවරී ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය වීමෙන් අනතුරුව මෙම සැකය පිළිබඳව දීර්ඝව විමර්ශන ආරම්භ කර ඇතැයි ද එම මාධ්‍ය ප්‍රකාශ කරයි.
විවිධ අපරාධ ගණනාවක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට මෙන්ම අන්තර්ජජාතික පොලිසියට ද (ඉන්ටපෝල්) අවශ්‍යව සිටි අංගොඩ ලොක්කා පසුගිය ජූලි මුල දී ඝාතනයට ලක්ව ඇති බවත් එම ඝාතනය වස දීමකින් සිදු කෙරුණක් බවටත් ශ්‍රී ලංකාවේ මාධ්‍ය වාර්තා කර ඇතැයිද ඉන්දීය මාධ්‍ය පවසයි.
ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පළ කර ඇති වාර්තාවකට අනුව ‘‘ලොක්කා’’ පසුගිය ජූලි 03 වැනිදා මිය ගොස් ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණයකින් අනතුරුව ඔහුගේ මෘත දේහය මදුරෙයි වෙත රැගෙන ගොස් ආදාහනය කර ඇත.
