Gossip

”මම හූනටත් බයයි. එත් පිඹුරෙක් එක්ක රූප ගතකරේ, පටිගත කරනකොට මං කළේ සියයට අනූ නවයක්ම කෑගහන එක”

ඇය නමින් උමාරියා සිංහවංශයි. ඉතාමත් හිමින් ලස්සන ගමනක් යමින් සිටින ඇය මේ මොහොත වන විට ශ්‍රී ලංකාවේ ජනප්‍රියම චරිතයක් බවට පත්වෙලා සිටිනවා. ඒ ඇගේ සුමිහිරි හඬ පමණක් නිසාම නොව, ඇය කාන්තාවක් හැටියට ඇගේ ඉලක්කයන්වලට එඩිතරව මුහුණදෙමින් සිටින නිසාවෙනි. ඇය ගායනා කළ ‘මන්ද පමා’ ගීතය මේ වනවිට නැරඹුම් වාර මිලියන 5 පසුකර ඇත.

‘මන්ද පමා’ මෙතරම් පමා වුණේ ඇයි?

‘මන්ද පමා’ සින්දුව නිර්මාණය කළේ මගේ හස්බන්ඩ් දිමිත්‍රි ෆොන්සේකා. එයා තනුව නිර්මාණය කළාට පස්සේ තමයි මනුරංග එකතු වෙන්නේ වචන සමගින්. අපි ඉස්සෙල්ලම මේක නම් කරන්න ගියේ ‘විල්තෙර’ කියලා, නමුත් මං යෝජනා කළා ‘මන්ද පමා’ කියන වචනය. මට හිතුණා ඒ වචනයේ පොඩි ගැම්මක් තියනවා කියලා. අපි මෙය නිර්මාණය කළේ දැනට මාස 8 ට විතර කලින් ෆ්‍රාන්ස්වලදී. ඇත්තමට කිව්වොත් ‘මන්ද පමා’ පමා වුණේ මං කැමති හොඳ නිර්මාණයන් හොඳම විදියට එළිදක්වන්න ඕන නිසා.

ඔබේ තරබාරු බව ඔබව බොහෝ දුර එක්කන් ආවා කිව්වොත්?

මං ඇත්තටම පුංචි කාලේ ගොඩක් තරබාරුයි. මට අවුරුදු 19දී මං හිතා ගත්තා මේ යන විදිය මගේ සෞඛ්‍යයට එතරම් හොඳ නැති බව. ඒ නිසා මං ජිම් එකට යන්න පටන් අරන් කෑම පාලනය කළා. නමුත් මං හිතන්නේ අපේ බාහිර පෙනුම බලපාන්නේ නෑ අපේ ගමනට. කෙනකුගේ ස්වරූපයෙන් අපිට බෑ ඒ පුද්ගලයාගේ දක්ෂතාවය මනින්න. අපේ අවංක උත්සහාය, කැපවීම තමයි අපේ ගමනට බලපාන සාධක වෙන්න ඕන. ‘අඩෙල්’ කියන ගායිකාව ගත්තොත්, ඇය තරබාරුයි. නමුත් ඇය ඉදිරියට ඇවිත් තිබෙන්නේ ඇගේ දක්ෂතාව නිසයි.

දැන් ඔබ කෙට්ටු වෙලානේ..?

මම ‘මන්ද පමා’ ගීතයට ලොකු කැපකිරීමක් කළා. මොකද අපි මේ ගීතයට තෝරගත්ත සංකල්පය මත, මට ඒ කැපකිරීම සිදු කරන්නට වුණා. අනිත් දේ තමයි මං කවදාවත් කෙනෙකුගේ පෙනුමෙන් ඒ පුද්ගලයාව මනින්න යන්නේ නෑ. මිනිස්සු අනෙකාට සලකන විදියෙන් අපිට තෙරුන් ගන්න පුළුවන් ඒ මිනිසුන්ගේ හදවත ගැන. ලස්සනට ඉන්න අපි හැමෝම කැමතියි. කෙට්ටු වෙන්න අසාවෙන් ඉන්න අයට මට කියන්න තියෙන්නේ ඉස්සෙල්ලම තමන්ගේ සෞඛ්‍යය ගැන හිතන්න, ඒ තුළින් ඉදිරියට යන්න පුළුවන් වේවි.

‘මන්ද පමා’ ගීතය දවස් පහක් වගේ කෙටි කාලයකින් නැරඹුම් වාර මිලියනය ඉක්මවනවා, මෙය ඔබ බලාපොරොත්තු වුණු දෙයක්ද?

මං කාලයකින් ගීතයක් කරලා තිබුණේ නෑ. මං බලාපොරොත්තු වුණේ මගේ ප්‍රේක්ෂකයන් වෙනුවෙන් හොඳ නිර්මාණයක් කරන්න. ගීතයට ලැබුණු නැරඹුම් වාර ගණන ගැන සතුටුයි. නමුත් මට ඕන දේ තමයි මං මේ ලෝකේ නැති දවසක මගේ ගීතයකින් මාව මතක් වීම. ඒක තමයි මට වටින්නේ. අපි ඉන්නේ අද ඩිජිටල් යුගයක. අපිට ප්‍රතිචාර අවශ්‍යයයි. මට සතුටුයි ගීතය මිනිසුන් අතරට ගිය එක ගැන, මං ගොඩක් මේකට මහන්සි වුණා. විශේෂයෙන්ම මගේ හස්බන්ඩ්ට ස්තුති කරනවා මට ලස්සන සංගීතයක් මේ ගීතයට එකතු කරලා දුන්නාට. එයා තමයි මේකට ගොඩක්ම මහන්සි වුණේ. මනුරංග සහ හසින්තවත් මං ආදරෙන් මතක් කරනවා.

ඔබේ මෙම ගීතයද යූටියුබ් හරහා මෙතරම් පිරිසක් වැඩිපුරම නරඹපු ගීතය?

ඇත්තටම ‘හන්තාන සිහිනය’ ගීතයත් විශාල පිරිසකගේ ආකර්ෂණය දිනා ගත්තා. නමුත් අද කළේ මේ පවතින තරගකාරී තාරුණ්‍යයේ ප්‍රවණතාවත් එක්ක බැලුවොත්, මේක තමයි මෙතරම් ප්‍රතිචාර ගත්ත මගේ පළමු ඒකල ගීතය (solo song).

හූනට බය ඔබ කොහොමද පිඹුරෙක්ව ඇල්ලුවේ?

හැමෝම මගෙන් අහන දෙයක් තමයි ඕක. මං ඒ තරම්ම හූනට බයයි. නමුත් මට ඕන වුණා ඒ රූපරාමුව ඇත්තටම ගන්න. ඒ පිඹුරගේ නම සැමන්තා. මං ආසයි එහෙම අහියෝගවලට මුහුණ දෙන්න. මං බය වුණත් ඒක කොහොම හරි කළා. ඇත්තටම ඒ රූපරාමුව පටිගත කරනකොට මං කළේ සියයට අනූ නවයක්ම කෑගහන එක. නමුත් ඒක ගොඩක් ලස්සනට අවසානයේ පටිගත වෙලා තිබුණා.

අපේ කලාව තවත් ජාත්‍යන්තර මට්ටමට ගෙනයන්න තව අවශ්‍ය කරන සාධක මොනවාද?

ඒක මෙහෙමයි, අපේ රට පොඩි රටක්. ඒ වගේම ඒකෙ සංගීත කර්මාන්තයත් ඒ හා සමාන වෙනවා. නමුත් අපේ කුසලතා දක්ෂතාවන් ගත්තම ජාත්‍යන්තරය හා තරග වදින්නට අපේ මේ පුංචි රටේ ඕනෑ තරම් දක්ෂයෝ ඉන්නවා. මම ජාත්‍යන්තර මට්ටමේ තරගවලට සහභාගි වෙලා තිබෙනවා. ගොඩක් දෙනෙක් හිතන් ඉන්නේ අපේ රට ඉන්දියාවේ කොටසක් කියලා. අපි ශ්‍රී ලාංකිකයෝ කිව්වම එයාලා වැඩිය උනන්දුවක් දක්වන්නේ නෑ අපි ගැන.

නමුත් අපි අපේ ඉදිරිපත් කිරීම් කළාට පස්සේ ඔවුන් දැනගන්නවා, නෑ, මෙයලටත් ලොකු දෙයක් කරන්න පුළුවන් කියලා. ඊට පසුව ඔවුන් අපි ගැන කතා කරන්න පටන් ගන්නවා. අපිට ජාත්‍යන්තරයට යන්න අරමුදල් තමයි නැත්තේ, මොකද අපි ඩොලර්වලින් නෙවෙයි හම්බ කරන්නේ රුපියල්වලින්. අපේ රටේ රජයට ඒ නිරාවරණය අපේ කලාකරුවන්ට ලබාදෙන්න පුළුවන් නම් ඒක වටිනවා. නමුත් ඉදිරියේදී අනිවාර්යයෙන් කොහොම වුණත් අපිට ජාත්‍යන්තරය තරණය කරන්න පුළුවන් වේවි.

අපි දැක්කා ඔබේ අක්කා උමාරා ඔබේ ළඟින් ඉඳන් මේ හැමදේකටම සහාය වෙනවා?

මගේ අක්කා තමයි මගේ දෙවැනි අම්මා. මගේ අම්මට පස්සේ ඉන්නේ එයා තමයි. මගේ හැමදේකටම මගේ අක්කා මං ළඟින් කවදත් හිටියා. එයා තමයි මගේ හොඳම යාළුවා. අපි දෙන්නට දෙන්නා හැමදේම කතා කර ගන්නවා. එදත් එයා මගේ ළඟින් හිටියා වෙනදා වගේම. මගේ කොණ්ඩේ, මගේ ඇඳුම් හැමදේම ගැන අක්කා හොයලා බැලුවා. එයා නොහිටින්න මට මේ හැමදේම මේ තරම් දුරට සාර්ථක කරගන්න බැරි වේවි. මං මගේ අක්කට ගොඩක් ආදරෙයි.

ඔබ හිතුවද ඔබ කවදා හෝ ශ්‍රී ලංකාව තුළ මෙවැනි ප්‍රේක්ෂකයන් පිරිසකගේ ආදරණීයම ගායිකාව වෙයි කියලා?

මගේ පළමු ගීතය ‘පැතූ පෙම් පැතුම්’ ගීතය ගායනා කරනකොට මගේ වයස අවුරුදු 14යි. ඒක එළියට ආවේ මට අවුරුදු 16දී. එදා ඒ ලැබුණු ආදරය අද වෙනතුරු ඒ වගේම තියෙනවා. ප්‍රතිචාර ඊට වඩා වැඩිවෙලා තියෙනවා. මට ඒ සහයෝගය සහ දිරිගැන්වීම මගේ ප්‍රේක්ෂකයන්ගෙන් මට ලැබුණේ මං ගොඩක් පොඩි කාලේදී. ඒ ගැන කතා දෙකක් නෑ, මං අදටත් මේ ක්ෂේත්‍රයේ ඉන්නවා නම් ඒ එයාලා නිසයි. ඉතින් මං හිතනවා මං ගොඩක් වාසනාවන්තයි කියලා. ගොඩක් ස්තුතියි ඔයාලා හැමෝටම.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!