Gossip

“තමන්ට වුවමනාව තිබෙනවා නම් කරන්න බැරි දෙයක් නෑ. ඉඳහිට දැක්කත් ඒ ආදරේනම් අඩුවක් නෑ..”

සචිනි අයේන්ද්‍රා සිනමාවේ පුංචි තිරයේ නිරූපණයේ දස්කම් පාමින් ප්‍රේක්ෂකයින් දිනා ගත් රුවැති රංගන ශිල්පිනියක්.
කලාවේ ඇගේ ගමනට දැන් වසර පහළොවකටත් වැඩි කාලයක් ගතව ඇතත් ඒ ගමන බොහොම සෙමින්, නමුත් ස්ථාවර බව ඇය එක්වූ නිර්මාණ ඔස්සේ කියා පාන්නීය. නැවත සචිනි ඇගේ රංගන විලාසය ප්‍රේක්ෂක හදවත් තුළ රඳවන්නට සූදානම් වන්නීය. ඒ, ඉදිරියේදී තිරගත වීමට නියමිත නිශාන්ත සාන්තදේව අධ්‍යක්ෂණය කළ ‘ගර්භාෂය‘ චිත්‍රපටයෙනි.

සචිනි ‘ගර්භාෂය‘ චිත්‍රපටය තිර ගතවන තුරු ඇඟිලි ගනිමින් ඉන්න වග දැන ගන්න ලැබුණා?
එය මම බොහොම ආශාවකින් කැපවීමකින් රංගනයෙන් දායක වුණු චිත්‍රපටයක්. ඒ නිසාම ඉතාම ආශාවෙන් තිරගත වන තුරු බලන් ඉන්නේ. එය ළඟදීම තිරගත වෙන්න නියමිත බව දැන ගත්තහම ලොකු සතුටක් දැනුණා.

ඒ චරිතය ඔබට සුවිශේෂි වෙන්නේ ඇයි?
මම එහි රඟපෑවේ මරාගෙන මැරෙන LTTE සාමාජිකාවකගේ චරිතයක්. ‘මණිමේකලා‘ නමැති ඒ චරිතය වෙනුවෙන් ලොකු කැප කිරීමක් කරන්න වුණා. හිතා ගන්න බැරි තරමින් මම ඇයට අනුගත වෙලයි හිටියේ. ‘මණිමේකලා‘කියන්නේ මගේ රංගන දිවියට බොහෝ අත්දැකීම් එක් කළ චරිතයක්.

නිර්මාණවලින් දැන් ඔබව දකින්නේ ඉඳහිට?
ඉඳහිට දැක්කත් මට තියෙන ප්‍රේක්ෂක ආදරේ නම් අඩුවෙලා නැහැ.

ටෙලි නාට්‍යයකටත් සම්බන්ධ වෙන්න සූදානමින් නේද?
ඔව්. එය කොරෝනා වසංගතය එන්න කලින් පටන් ගන්න තිබුණු ටෙලිනාට්‍යයක්.
ඒකේ මූලික කටයුතු සියල්ලම අවසන් කරලයි තිබුණේ. ඉක්මනින්ම ඒ නිර්මාණයෙත් රූගත කිරීම් ආරම්භ වේවි. ඊට අමතරව නිරූපණ කටයුතු කරගෙන යනවා.

සචිනි සිනමාවට තරම් ටෙලි නාට්‍යවලට ළෙන්ගතු නැද්ද?
එහෙම දෙයක් නැහැ. සිනමාවට තරම්ම ටෙලි නාට්‍යවලටත් මම කැමැතියි.

නමුත් හොඳ පිටපතක් නැතිව ලැබෙන ඕනම දේකට රංගනයෙන් දායක වෙලා වැඩක් නැහැ.
මම රඟපාන්නේ චරිත තෝරගෙන. විශේෂයෙන් චරිතයකට කොයිතරම් දුරට සාධාරණයක් කරන්න පුළුවන්ද කියලා සැලකිලිමත් වෙනවා. නිර්මාණය මගේ හිතට දැනෙන්න ඕනේ. චරිතයට කොයිතරම් වෙහෙසිලා කැපවෙලා සාධාරණයක් ඉටු කළත් නිර්මාණය අසාර්ථක නම් අපේ ඒ මහන්සිය අපරාදේ.

පසුගිය කාලයේ ජාත්‍යන්තර මියුසික් වීඩියෝ එකක පෙනී සිටි ඔබට නැවැත එවැනි ආරාධනා ලැබුණේ නැතිද?
අමෙරිකානු ජාතික නවක ගායන ශිල්පිනියක වූ ක්‍රිස්ටිනා ඉවානොස්කීගේ ‘ I Want You’ ගීතයේ රූප රාමු කිහිපයකට පෙනී සිටින්නට මට අවස්ථාව ලැබුණා. ඒ අවස්ථාව මම ඉතාම කැමැත්තෙන් බාර ගත්තේ වෙනස් අත්දැකීමක් ලබන්න පුළුවන් නිසා. ළඟදි ඇමරිකාවේ ජීවත්වන ‘මහේෂ් නිශ්’ අශාන්ති එක්ක කරපු “හිරිමල් වයසට” කියන collaboration ඒකෙ Music වීඩියෝ එකට සම්බන්ධ වෙන්න මට ආරාධනා කළ නිසා එයට රංගනයෙන් දායක වුණා.
ඒ මියුසික් වීඩියෝ එකේ story එකත් රංගන ශිල්පිනියකට ආකර්ෂණය වූ රසිකයකු පිළිබඳ කතාවක්. ගායන ශිල්පියා මේ වීඩියෝවට පෙනී සිටින්න මට ආරාධනා කළා.

කලාවට වගේම නිවෙසේ ඉටු විය යුතු වගකීම් කොටස වෙනුවෙන් ඔබ හොඳින් කාලය කළමනාකරණය කරගන්නා ගෘහණියක්?
මට ඉන්නේ පාසල් යන වයසේ දියණියන් දෙදෙනෙක්. රැකියා කටයුතු, දරුවන්ගේ වැඩ කටයුතු වගේම නිවෙසේ වැඩ කටයුතු සියල්ලම ඉතා හොඳ කාල කළමනාකරණයකින් කරන්න හැකි උපරිම උත්සාහය දරන නිසා කිසිවක් එකිනෙකට පටලා ගන්න මට සිදු වුණේ නැහැ.
අපි හැමෝටම තිබෙන්නේ පැය විසි හතරක්. එය හරි ආකාරයට කළමනාකරණය කළොත් ගැටලුවක් නැතුව පහසුවෙන් ජීවත් වෙන්න පුළුවන්.

මේ සියල්ල අතරේ ඔබ හැමදාමත් ඔබේ රුව ගැන හිතපු කෙනෙක්?
තමන්ට වුවමනාව තිබෙනව නම් කරන්න බැරි දෙයක් නෑ. සමහරු තමන්ගේ රැකියාවට යන්නෙත් කම්මැළිකමෙන්. ඒත් මම මගේ රැකියාවට ආදරෙයි. ඒ නිසයි මේ තරම් කාලයක් ක්ෂේත්‍රයේ රැකිලා ඉන්නේ.

ළඟඳිම තවත් ලොකු වැඩකට අතගහනවා කියලා ආරංචි?
ලොකු වැඩකට සූදානමින් ඉන්නවා. නමුත් ඒ ගැන දැන් කතා කරන්න සූදානම් නැහැ. පසුගිය කාලයේ අතපසු වූ වැඩ නැවත අරඹා ඉදිරියට පවත්වාගෙන යන්නයි මේ දිනවල වැඩි කාලයක් ගත කරන්නේ.

සචිනිගේ අනාගත බලාපොරොත්තු ?
මැරෙන තුරුම රංගන ශිල්පිනියක් විදිහට රැඳි ඉන්න තමයි. පුංචි කාලෙ ඉඳන්ම හීන මැව්වෙ රංගන ශිල්පිනියක වෙන්න. ඒ බලාපොරොත්තුව ඉෂ්ට කරගත්තා. ඉතින් මම මේ වෘත්තියේ නියැළෙන්නෙ හරිම ආසාවෙන්.

උපුටා ගැනීම – සිළුමිණ පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!