ගාල්ල කොටුවේ පිහිටි ඉන්දියන් අවන්හලක් අසලදී පෙරේදා (30 දා) පස්‌වරුවේදී පෙම් පලහිලව්වක් හේතුවෙන් ඇතිවූ බහින්බස්‌වීමක් දුරදිග යැමෙන් 25 හැවිරිදි තරුණයකු තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්‌ෂණ රෝහලට ඇතුළත් කොට ඇති බැව් ගාල්ල පොලිසිය පවසයි.
තුවාල ලැබූ තරුණයා 22 හැවිරිදි වියේ පසුවන සිය පෙම්වතිය සමග ගාලු කොටුවේ පිහිටි ඉන්දියන් අවන්හලට ගොස් ආහාර ගෙන පිටතට පැමිණ තිබේ. එම අවස්‌ථාවේදී පෙම්වතියගේ පැරණි පෙම්වතා ද එම ස්‌ථානයට පැමිණ ඇත. එහිදී දෙදෙනා අතර බහින්බස්‌වීමක් ඇති වී තිබේ. මෙහිදී පැරණි පෙම්වතා විසින් මොහුගේ අතට හා ගෙල ප්‍රදේශයට පිහියකින් ඇන ඇති බැව් පොලිසිය පවසයි.
තුවාලකරු හා සැකකාර තරුණයා මීට පෙර හොඳ මිතුරන් වන අතර මොවුන් දෙදෙනා උණවටුන ප්‍රදේශයේ පිහිනුම් ස්‌ථානයක සේවය කරන අය වෙති. පිහියෙන් අනිනු ලැබූ තරුණයා හා මෙකී තරුණිය අතර කලින් ප්‍රේම සබඳතාවක් තිබී ඇති අතර දෙදෙනා අතර ඇති වූ අමනාපයක් හේතුවෙන් එය නතර වී ඇත.
මොවුන් තිදෙනාම උණවටුන ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති. සැකකාර තරුණයා අත්අඩංගුවට ගැනීම සඳහා ගාල්ල පොලිසිය පරීක්‍ෂණ පවත්වයි
ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි
