යාපනය විශ්විද්‍යාලයට අනුබද්ධ කිලිනොච්චි විශ්වවිද්‍යාල මණ්ඩපයේ තාක්ෂණ පීඨයේ සේවය කළ කථිකාචාර්යවරියක වූ ගයාත්‍රි දිල්රුක්ෂි පසුගිය (19) වැනිදා අලි ප්‍රහාරයට ලක් විය. ඉන් බරපතළ ලෙස තුවාල ලැබූ ඇය කිලිනොච්චි දිසා රෝහලට ඇතුළත් කළ ද තත්ත්වය බරපතළ වූයෙන් වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කෙරිණි. මේ සිද්ධිය පිළිබඳව නිවැරදිව තොරතුරු ගවේෂණය නොකළ මෙරට විද්‍යුත්, මුද්‍රිත හා සමාජ මධ්‍ය සියල්ලම පාහේ ඇය වන අලි ප්‍රහාරයෙන් මිය ගිය බව වාර්තා කළේය. නමුත් ඒ වනවිටත් ඇය යාපනය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියාය. පසුව මේ පුවත නිවැරදි කිරීමට ඇතැම් මාධ්‍ය උත්සාහ ගත්තද ඒ වන විටත් ඇය සමාජ මාධ්‍ය තුළ මියගොස් සිටියාය.
මේ කථිකාචාර්යවරිය පසුගිය 22 වැනි දා ගුවන් හමුදාවට අයත් ගුවන්යානයකින් කොළඹ ජාතික මහා රෝහලට රැගෙන ආවේය. ඇය භාර කෙරුණේ විශේෂඥ වෛද්‍ය දිලීප අත්තනායකටය. දිල්රුක්ෂිගේ වැඩිමහල් සහෝදරිය මා සමඟ පවසා සිටියේ කොළඹට ගෙනැවිත් කැනියුලාව මාරු කළ අවස්ථාවේ ඇගේ ශරීරයේ සුළු චලනයක් සිදු වූ බවය. මෙවැනි ආකාරයට දරුණු ලෙස මොළයට හානි වූ රෝගීන් කිසියම් හාස්කමකින් මෙන් සුවය ලැබූ අවස්ථා නැතුවාම නොවේ. ලියුම්කරු මේ සටහන තබන 24 වැනිදා වන විටත් ඇය හදිසි අනතුරු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියාය.
යාපනය විශ්විද්‍යාලයට අනුබද්ධ කිලිනොච්චි විශ්වවිද්‍යාල මණ්ඩපය ඉදිකෙරුණේ අරිවියල් නගර් ප්රදේශයේය. ඒ කිලිනොච්චි නගරයට කිලෝ මීටර් හයක් පමණ ඈත කිලිනොච්චි වනාන්තරයට අාසන්නවය. නේවාසිකාගාර ඉදි කර ඇත්තේ ද ඒ ආශ්‍රිතවය. මෙම ප්‍රහාරයට හේතුවද මෙකී පිහිටීමය.
සංවර්ධන ක්‍රියාදාම සිදු කරන විට ඉදිකිරීම සම්බන්ධයෙන් මූලිකත්වය ලබාදෙනු විනා ඒ සම්බන්ධයෙන් කෙරෙන ශක්‍යතා අධ්‍යයනයන් පවතින්නේ ඉතාම දුර්වල මට්ටමකය. මහවැලිය, උමාඔය වැනි අති දැවැන්ත සංවර්ධන කාර්යයන් හීදී ද ඒවැනි දෑ සිදු විය.
ඒ් පිළිබඳව විද්වතුන් නොයෙක් ආකාරයෙන් අදහස් දැක්වුවද පරිපාලනය ඒවා තඹ දොයිතුවකට මායිම් කළේ නැත. ඒහි අනිසි ප්‍රතිඵල අදත් අප භුක්ති විඳිති. වර්තමානයේ මීට දිය හැකි හොඳම නිදර්ශනය මෙම කිලිනොච්චි විශ්වවිද්‍යාල පරිශ්‍රයේ සිදු වූ මෙම වන අලි ප්‍රහාරයයි.
වනාන්තර එළි පෙහෙළිකොට එම භූමිභාගවල ගොඩනැඟිලි ඉදිකිරීම සංවර්ධනය ලෙස ඇතැමුන් අර්ථ දැක්වුව ද, අද අලි මිනිස් ගැටුම දුරදිග ගොස් ඇත්තේ මෙකි ක්‍රියාවන්හි ප්රතිඵයක් වශයෙන් බව ඔවුන් අමතක කරති. කිසියම් ඉදිකිරීමක් සිදු කරන විට අදාළ භූමියෙහි අවට පරිසරය, භූවිෂමතා හා ජෛව විවිධත්වය යන කරුණු කාරණා සොයා බැලීම ඉතාම වැදත් වේ. ඒ බව මෙවැනි සිද්ධීන් අපට මතක් කරදෙයි.
විශ්වවිද්‍යාල කථිකාචාර්යවරිය එදින බුදුන් වැඳීමට ගොස් තිබුණේ එම විශ්වවිද්‍යාලයේම කටයුතු කරන ආචාර්යවරයකු සමඟය. සවස තුනට පමණ නේවාසිකාගාර ආසන්නයේ පිහිටි බුදු මැදුරට ගොස් වැඳ පුදා අවසන් වී නැවත පැමිණෙන විට සවස හත පසුවී තිබුණි.
වන අලියා ඔවුන්ට පහර දී ඇත්තේ මෙම අවස්ථාවේදීය.
ආචාර්යවරිය සර් අලියෙක් කියූ සැණින් ක්‍රියාත්මක වූ ආචාර්යවරයා තමා හැඳ සිටි ටීෂටය ගලවා දමා එම ස්ථානයෙන් පළා ගියේය.
ඉන් අලි පිළිබඳව කිසියම් වැටහීමක් ආචාර්යවරයාට තිබූ බව හෙළි වේ.
යක්ෂාවේෂව සිටි අලියා ඇයට පහර දෙන්නේ ඉන් අනතුරව විය හැකිය. ආචාර්යවරයාගේ දැනුම් දීමත් සමඟ අනෙක් පිරිස ඒම ස්ථානයට පැමිණෙන විට සියල්ල සිදු වී හමාරය.
අලියා ගිය අතක් පෙනෙන්නට නොවීය. අනතුරුව දරුණු ලෙස තුවාල ලබා සිටි කථිකාචාර්යවරිය රෝහල් ගත කිරීමට වහා පියවර ගෙන තිබුණි. මේ මොහොත වනවිට ඇය ජීවිතයත් මරණයත් අතර සටනකය.
මින් අපට පැහැදිලි වන්නේ මෙම විශ්වවිද්‍යාල නේවාසික පරිශ්‍රය අනාරක්ෂිත බවය. එනිසා මේ සම්බන්ධයෙන් අදාළ බලධාරීන් වැඩි අවධානයක් යොමු කර නිසි ක්‍රියාමාර්ග ගත යුතුය.
උපුටා ගැනීම – සිළුමිණ පුවත්පත
