ලෝකයම වෙළා ගත් කොරෝනා කාලයෙන් පස්සේ සිනමාව අලුතින් හුස්ම ගන්න පටන් ගත්තේ ‘ද නිව්ස් පේපර්’ චිත්‍රපටය තිරගත කරමින්. මේ ‘ද නිව්ස් පේපර්’ චිත්‍රපටය ආරම්භයේ පුබුදු චතුරංග දැක ගන්නට ලැබෙනවා සේම මේ සිනමා නිර්මාණය තුළින් පුබුදුගේ ආදරණීය බිරිඳ මාෂිත් සිනමා ප්‍රේක්ෂකයාට සමීප වෙනවා මාධ්‍යවේදිනියගේ චරිතය නිරූපණය කරන නිසාම මේ කතාබහ පුබුදු-මාෂි එක්ක…
කොහොමද පුබුදු මේ දවස්වල ?
මේ දවස්වල අපි දෙන්නා ව්‍යාපාර කටයුතු පැත්තට තමා අවධානය යොමු කරලා තියෙන්නේ. මාෂි කොහොමත් උසස් අධ්‍යාපනය ලැබුවේ සහ උපාධිය සම්පූර්ණ කළේ ව්‍යාපාර කළමනාකරණය පැත්තෙන්. ඉතින් ඒ දැනුමත් එකතු කරගෙන තමා අපි මේ ව්‍යාපාර වැඩ කටයුත්ත කරන්න පටන් ගත්තේ.
මොන වගේ ව්‍යාපාරයක්ද මේ…
කෑම සම්බන්ධ ඔන්ලයින් ව්‍යාපාරයක්. ඇත්තටම කිව්වොත් කොරෝනා කාලය අපි නිවසට වෙලා ගත කරද්දී අපි දෙන්නා වැඩිපුරම කළේ විවිධ කෑම ජාති හදන එක සහ ඒවායේ රස බලන එක. මාෂිට රසට කෑම හදන්න පුළුවන්. ඒ අත්ගුණයත් ව්‍යාපාර ඥානයත් එක්කම තමා මේ ව්‍යාපාරය පටන් ගන්න හිතුවේ.
ඇත්තද මාෂි මේ කියන්නේ…
මට විතරක් නෙවෙයි අයියටත් (පුබුදු) පුළුවන්. ඒ වගේම තමා පුබුදු කෑමක් හදන්න එකතු වුණත් ඇති. ඒක හරි රසට හැදෙනවා. මට කෑම හදද්දී ලොකු සහයෝගයක් දෙනවා. ඒ නිසා අපි දෙන්නම තමා මේ කොරෝනා කාලේ විවිධ කෑම හැදුවේ. අන්තිමට අපි දෙන්නා හිටියට වඩා මහත් වුණා.
හදපු කෑමවලට ලැබුණු රසවත්ම ප්‍රතිචාරය කාගෙන්ද?
මාෂි – අපි දෙන්නා එක සැරයක් අපි හදපු කෑමක් දුන්නා නවලෝක අධිපති ජයන්ත ධර්මදාස මහතාට. එතුමා තමා අපි දුන්න ඒ කෑම එක රස බලලා කිව්වේ ඉතින් හැමදාම ඔය දෙන්නම රස බලන්න විතරයිද කෑම හදන්නේ. මේ දේ ඔය දෙන්නට ආදරය කරන අයටත් දෙන්න පුළුවන් විදියේ වැඩක් පටන් ගන්න කියලා. ඒක ඒ වෙලාවේ එතුමාගේ හදවතින්ම ආව ප්‍රතිචාරයක්. ඉතින් ඒ නිසා අපි දෙන්නම තීරණය කළා මේ වගේ ව්‍යාපාර පැත්තට යොමුවෙන්න.
ව්‍යාපාරයට නමක් එහෙම දාලා ඇති නේද?
පුබුදු – ඔව්. අපි දාලා තියෙන්නේ ‘කැෆේ මාෂි’ කියලා…
මාෂි රසටම හදන්නේ මොන කෑමද?
පුබුදු – මාෂිට ඕනෙම කෑමක් රසට හදන්න පුළුවන් හොඳ අත්ගුණයක් තියෙනවා. ඒ අතරේ විශේෂයි ඉතාලි කෑම ජාති. මොකද මාෂිට ඉතාලි ආභාසයක් පවා තියෙනවා. ඉතාලියේ තමා වැඩි කාලයක් හිටියෙත්. ඉතාලි අයට වඩා රසට ඉතාලි කෑම හදන්න පුළුවන්.
මාෂි සූපවේදය ගැන ඉගෙන ගන්නවද?
මේ ව්‍යාපාර පැත්තට යොමු වුණු නිසා චෙෆ් ඩොක්ටර් මාරියෝගෙන් සූපවේදය ගැන මේ දිනවල හදාරනවා.
ඒ කියන්නේ මේ කොරෝනා කාලය නිසා ඇතිවුණු වෙනසක් නේද?
පුබුදු – අනිවාර්යෙන්ම මේ කොරෝනාවේ අතුරු ප්‍රතිඵල. කලින් එහෙම වෙනස් දෙයක් හිතන්න තියා නිදහසේ හුස්මක් ගන්න බැරි තරම් වැඩ. ජීවිතේ පොඩ්ඩක් නතර වෙලා හිතන්න මොහොතක් තිබ්බේ නැහැ. කොරෝනා නිසා අපිට මොහොතක් නතර වෙලා ජීවිතේ ආපස්සට සහ ඉදිරිය ගැන හිතන්න කාලයක් දුන්නා. ඒ කාලය තුළ තමා හිතුණේ එකම දෙයක ඉන්නේ නැතිව විවිධ දේ කරන්න ඕනේ කියලා. මම ඉගෙන ගත්තේ ඉංජිනේරු අංශයෙන්. ඉදිරියේදී ඒ පැත්තෙන් දෙයක් කරන්නත් මේ දවස්වල සැලසුම් කරගෙන යනවා.
අපි සුබ පතනවා කැෆේ මාෂි ඔන්ලයින් ව්‍යාපාරය සාර්ථක වෙන්න කියලා… සිනමාව පැත්ත අපි කතා බහ කළොත් ‘ද නිව්ස් පේපර්’ තුළින් පුබුදු-මාෂි දෙන්නම දකින්න පුළුවන්, කොහොමද මාෂිට මේ අවස්ථාව ලැබුණේ…
පුබුදු – මාෂිට ඒ අවස්ථාව ලැබුණේ අපි දෙන්නගේ විවාහ උත්සවයේදී. ඒකට ආවා කුමාර, සරත් දෙන්නම. ඉතින් අපිට සුබ පතද්දීම තමා කිව්වේ අපි දෙන්නා චිත්‍රපටියක් කරන්න යනවා. වයිෆ්ව ඒකට දෙන්න පුළුවන්ද කියලා. මම ඉතින් හා හරි ගන්න කිව්වා. ඔහොම තමා ආරාධනාව ආවේ. ඊට පස්සේ අපේ විවාහයෙන් පස්සේ මෙහි රූගත කිරීම් පටන් ගත්තා.
මාෂි කොහොමද සිනමාවේ මුල් අත්දැකීම?
සුන්දරයි. මම සිනමාවට කොහොමත් කැමති කෙනෙක්. මම පොඩි කාලේ අවුරුදු 5 ඉඳන්ම වෙළෙඳ දැන්වීම්වල හිටිය නිසා කැමරාව මට නුහුරු වුණේ නැහැ. සිනමාවට මම කවදත් ආදරේ කළා ඒ නිසා ලැබුණු දෙයක් කියලා මම හිතනවා.
පුබුදු – මම කොහොමත් මාෂි වෙනුවෙන් චිත්‍රපට තිර පිටපතක් කරලා තිබ්බේ. ඒ ආදර හීනය කියලා. ඒක අධ්‍යක්ෂණය කරන්නේ උදයකාන්ත මහතා. ඒකෙ තව පොඩි කොටසක් තියෙනවා ඉවර කරගන්න. ඊට කලින් ඉතින් ‘ද නිව්ස් පේපර්’ තිරගත වුණා.
පුබුදුත් ඉන්නවා මේ චිත්‍රපටයේ…
ඒක වුණේ සරත්ට අත දෙන්න ගිහින්.
මොකක්ද ඒ කතාව?
සරත් කොතලාවල කියන්නේ මගේ සමීපම මිත්‍රයෙක්. සරත්ගේ වේදිකා නාට්‍යවල මම තමා ප්‍රධාන නළුවා. මොකද සරත් විශ්වාස කරනවා මගෙන් ඔහුට වාසනාව උදාවෙනවා කියලා. ඉතින් මට කිව්වා රූගත කිරීම් අහවල් දවසේ පටන් ගන්නවා. පොඩ්ඩක් ඇවිත් පළමු කැමරා දර්ශනයට නැකතට පොඩ්ඩක් අත් දෙක තියන්න එන්න කියලා. මමත් ඉතින් ගියා. එතැනට ගියාට පස්සේ කිව්වා අනේ මචං මූණත් පොඩ්ඩක් පෙන්නන්න කියලා. ඊට පස්සේ ඉතින් ඇඳන් ආපු ෂර්ට් එක ගලවලා වෙන ෂර්ට් එකක් ඇඳලා ළඟ කඩයකින් බුලත් විටකුත් ගෙන්න ගෙන කොණ්ඩේ පොඩ්ඩක් අවුල් කරගෙන මූණත් දුන්නා. අන්තිමට කොහොම හරි මාෂියි මමයි රඟපෑ පළමු චිත්‍රපටය ද නිව්ස් පේපර් වුණා.
පුබුදුගේ තව ඉස්සරහට එන්න තියෙන චිත්‍රපට මොනවද?
චිත්‍රපට 7ක් එන්න තියෙනවා. දේවින්ද කෝන්ගහගේ අධ්‍යක්ෂණය කළ ‘ගිරිවැසිපුර’, සුනිල් ප්‍රේමරත්න අධ්‍යක්ෂණය කළ ‘නිහඬ සෙවණැළි.’ ඒකේ නම් මාෂියි මමයි දෙන්නම ඉන්නවා. තව උදයකාන්ත වර්ණසූරිය මහතාගේ ‘ආදර හීනය’. ප්‍රීතිරාජ් වීරරත්න මහතාගේ ‘එදත් දිනුම් අදත් දිනුම්‘.
