Gossip

”සදහටම දෙනෙත් පියාගෙන මමත් දරු පැටව් දෙන්නත් මේ ලෝකයේ සදහටම තනි වුණා” බිරිඳ හඬමින් කියයි … ටිපර් රථයට බිලිවූ පොලිස් නිලධාරියාගේ ශෝකාන්තය…

පොලිස් අණ තොතකා ධාවනය වූ ටිපර් රථයක් නතර කර දඩ කොළයක් ලබා දීම නොරිස්සූ එම රථයේ රියැදුරා විසින් මහ මඟ රථ වාහන පරීක්ෂා කිරීමේ යෙදී සිටි පොලිස් නිලධාරීන් පිරිසක් සිය ටිපර් රථයට යට කිරීමෙන් එක් පොලිස් නිලධාරියකු මියගොස් තවත් දෙදෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇත. මෙම අනතුරින් මිය ගියේ හක්මන පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන ලද වලස්මුල්ල මොදරවාන වාව්ව ප‍්‍රදේශයේ පදිංචි තිස්හය හැවිරිදි මාලිත ශාමේන් නමැති දෙදරු පියෙකි. මෙම පොලිස් කොස්තාපල්වරයා එදින පෙරවරුවේ සිට පස්වරුව දක්වා රාජකාරියේ නියුක්තව සිට නිවසට පැමිණ ඇති අතර පසුව පැය දෙකක රාජකාරියක් සඳහා නැවත පොලිසියට වාර්තා කරන ලෙස කරන ලද දැන්වීම අනුව සේවයට ගොස් ඇත. එහිදී රථ වාහන පරීක්ෂාව සඳහා යොදවා ඇත.

කිරින්ද ප‍්‍රදේශයේ මාර්ග බාධකයක රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් විසින් ටිපර් රථය නතර කරන ලෙස සංඥා කර ඇති අතර එම ටිපර් රථය නොනවත්වා ධාවනය කර ඇත. පසුව එම නිලධාරීන් විසින් ටිපර් රථයේ තොරතුරු කෝන්ගල 13 කණුව ප‍්‍රදේශයේ රාජකාරියේ යෙදී සිටි නිලධාරීන්ට දන්වා ඇත. ඒ පිළිබඳව අවධානයෙන් සිටින අවස්ථාවේදී ටිපර් රථය අධික වේගයෙන් එම ස්ථානය පසුකර යෑමට පැමිණ ඇත. එය නතර කරන ලෙස සංඥා කර ඇති අතර ටිපර් රථ මේ ස්ථානයේ නතර කර තිබේ.

පසුව මෙම නිලධාරීන් විසින් ටිපර් රථයේ රියැදුරාට අණ නොතකා ධාවනය කිරීමේ වරදට දඩ කොළයක් ලබාදී තිබේ. ඒ පිළිබඳව පොලිස් නිලධාරීන් වෙත ටිපර් රථ රියැදුරා දැඩි ලෙස දෝෂාරෝපණය කර ඇත. අනතුරුව ටිපර් රථය වලස්මුල්ල දෙසට ධාවනය කර නැවත හරවා හක්මන දෙසට ගොස් යළිත් හරවා ගෙන පැමිණ පොලිස් නිලධාරීන් රැඳී සිටි තාවකාලික මුර කුටිය ද යට කරගෙන පලාගොස් ඇත.

සිද්ධියෙන් පොලිස් නිලධාරීන් දෙදෙනකු බරපතළ තුවාල ලබා තිබේ. එම දෙදෙනා මාතර රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර එහිදී එක් පොලිස් නිලධාරියකු මියගොස් ඇත. තුවාල ලද අනිත් පොලිස් නිලධාරියාගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

හකුරුවෙල බෝගමුව ප‍්‍රදේශයේ ඉපදී ඇති මෙම පොලිස් නිලධාරියා අධ්‍යාපනය ලබා ඇත්තේ හකුරුවෙල මහා විද්‍යාලයෙනි. අ.පො.ස. උස්ස පෙළ විභාගයට පෙනී සිටීමෙන් පසුව 2008 වසරේදී ශී‍්‍ර ලංකා පොලිස් සේවයට එක් වී ඇත. නිකවැරටිය පොලිස් අභ්‍යාස විද්‍යාලයෙන් මූලික පුහුණුව ලද මලිත් කොල්ලූපිටිය පොලිස් ස්ථානයට පළමු රාජකාරිය සඳහා වාර්තා කර තිබේ. ඉන්පසුව හක්මණ පොලිස් ස්ථානයේ සේවයට පැමිණ තිබේ. පසුව යළිත් ස්ථාන මාරුවක් ලැබ නැගෙනහිර පළාතේ සේවයට ගොස් යළිත් හක්මණ පොලිසියට පැමිණ ඇත. වලස්මුල්ල මොදරවාන වාව්ව ප‍්‍රදේශයේ තරුණියක් සමග විවාහ වී ඇති අතර එම ප‍්‍රදේශයේම නිවසක් සාදා මොහු පදිංචිව සිට ඇත.

මලිත්ගේ පියා වන විතාරණ මහතා අධිකරණ කිහිපයක නිලධාරියකු ලෙස සේවය කොට විශ‍්‍රාම ලැබ සිටින අයෙකි. ඔහු අප සමග මෙසේ අදහස් දැක්වීය. මගේ පවුලේ දරුවන් තුන් දෙනයි ලොකු දුව උපාධිධාරිනියක්. බාල පුතත් උපාධිධාරියෙක් මේ පුතා උසස් පෙළ පාස් වෙලා පොලිස් සේවයට ගියා. එයත් එහිදී උසස් අධ්‍යාපනය හැදෑරුවා. පුතා විවාහ වුණේ වලස්මුල්ල මොදරවාන වාව්ව. ප‍්‍රදේශයේ දියණියක් සමග. පුතා විවාහ දැන් එයාට පුතෙක් සහ දුවෙක් ඉන්නවා. ඒ දෙන්නම කුඩා දරුවන්. අපි පදිංචි වෙලා ඉන්නේ හකුරුවෙල බෝගමුව ප‍්‍රදේශයේ. දාහත වැනිදා උදේ පාන්දර තමයි පුතා අනතුරට ලක් වුණ මේ සිද්ධිය අපිට ආරංචි වුණේ. ඒ වෙලාවෙම අපි පුතාගේ ගෙදරට ආවා. නීතිය කි‍්‍රයාත්මක කරන්න

ගිහිල්ලා තමයි මගේ දරුවාට මේ විදිහට ජීවිතයෙන් වන්දි ගෙවන්න සිද්ධ වුණේ. නොහික්මුණු රියැදුරෙක් නිසා මට මගේ දරුවා නැති වුණා. ඒ වගේම කුඩා දරුවන් දෙන්නෙකුට තාත්තා සදහටම අහිමි වුණා. මධූ මගේ පුතාගේ බිරිඳ පුතාට ගොඩක් ආදරෙයි. එයාටත් ආදරණීය ස්වාමි පුරුෂයෙක් නැති වුණා. අපි කියන්නේ මේ වගේ අපරාධකරුවන්ට නිසි දඬුවම් ලබා දීලා මේ වගේ අපරාධ ඉදිරියට නොවෙන්න වග බලා ගන්න කියලා. කොහොම කළත් මගේ දරුවා නැති පාඩුව කවදාවත් අපිට දරා ගන්න බැරි වෙයි. මලිත් ගේ බිරිඳ සිය ස්වාමියා ගේ වියෝවෙන් අධික ලෙස කම්පනයට පත්ව සිඟිති දරුවන් දෙදෙනා ද තුරුළු කරගෙන හඬා වැටෙමින් පැවසුවේ මෙවන් කතාවකි.

මහත්තයා එදා උදේ වැඩට ගියා. ආයෙත් හවස ඕෆ් වෙලා ගෙදර ආවා. ටික වෙලාවක් ගෙදර ඉන්න කොට පොලිසියෙන් කෝල් එකක් ආවා. ඒ වෙලාවේ එයා නැවත සේවයට ගියා. පැය දෙකකින් ආපසු එන්න ගිය මගේ මහත්තයා ආයෙත් සදහටම දෙනෙත් පියාගෙන මමත් දරු පැටව් දෙන්නත් මේ ලෝකයේ සදහටම තනි වුණා. මේ වගේ කුරිරු අපරාධ කරන්න තරම් මිනිස්සු දරුණු වෙලා තියෙන්නේ ඇයිද කියලා හිතා ගන්න බෑ. මගේ මහත්තයා නීතිය කි‍්‍රයාත්මක කරන්න ගිහිල්ලා තමයි මේ වගේ ඉරණමකට පත් වුණේ. මම ඉල්ලා සිටින්නේ මේ වගේ අපරාධකරුවන්ට උපරිම දඬුවම් ලබා දීලා අපි වගේ අසරණ වුණු අයට සාධාරණයක් ඉෂ්ට කරන්න කියලා.

අනතුරෙන් පසුව පලා ගිය රියැදුරා ටිපර් රථය හුංගම ප‍්‍රදේශයේ සඟවා තිබියදී සොයාගෙන ඇති අතර රියැදුරා ද අත්අඩංගුවට ගෙන ඇත. හක්මණ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

මුල්කිරියාගම – පී. එස්. හෙට්ටිආරච්චි

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!