කොරෝනා වයිරසය අද දවස වනවිට බ්‍රසීලයට ඉතා ප්‍රබල හානියක් සිදු කරමින් තිබෙනු දකින්නට පුළුවන. ගෝලීය වසංගතය පැතිරීම සීමා කරමින් තම ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා නිසි පියවර නොගන්නේ යැයි ජනපතිවරයාට එරෙහිවද චෝදනා නැඟී තිබේ. මේ වසංගත සමය තුළ සෞඛ්‍ය ඇමැතිවරු දෙදෙනෙක් නිලයෙන් ඉවත් වනුද දකින්නට ලැබිණි.
බ්‍රසීලයේ කොරෝනා හානිය නිසා වැඩිමනත් පීඩාවට පත් වන්නට සිදුව තිබෙන්නේ එහි ස්වදේශීය ජාතීන්ටය. මනාවුස් නගරයට ඔබ්බෙන් පිහිටි Parque das Tribos ජනාවාසයේ ජීවත් වන්නේ විවිධ ගෝත්‍ර 35කින් පැවත එන්නවුන්ය. ඔවුනට මෙබදු ව්‍යසන තත්ත්වයකදී අත්‍යවශ්‍ය වන මහජන සෞඛ්‍ය සායනයක් නැතිවා පමණක් නොව බොහෝ නිවාසවලට නළ ජලය හෝ විදුලියද නැත.
මෙසේ බොහෝ කටුක පරිසරයක ජීවත් වන ස්වදේශිකයන්ට කොරෝනා සමඟද සටන් කරන්නට සිදුව තිබේ. එහෙත් නිසි වෛද්‍ය පහසුකම් හෝ අනෙකුත් පහසුකම් ඔවුනට ප්‍රමාණවත් පරිද්දෙන් නැත.
වැන්ඩලේෂියා සැන්ටෝස්ගේ කතන්දරය අපට අසන්නට ලැබෙන්නේ මෙවන් පසුබිමක් යටතේය. වැන්ඩලේෂියා හෙදියකි. විශේෂත්වය වන්නේ ඇය ස්වදේශීය ජාතියකට අයත් හෙදියක් වීමත් ස්වේච්ඡාවෙන් හෙද සේවයට එක්ව සිටීමත්ය. පවුල් 700කින් පමණ සමන්විත වන මෙම ස්වදේශීය ජනාවාසයේ එකම හෙදිය වශයෙන් කටයුතු කරන්නේ ඇයයි.
“අපේ මිනිසුන් මේ වයිරසය නිසා මැරෙන්න පටන් අරන් තියෙනවා. එහෙත් රජය ස්වදේශ ජාතිකයන් වෙනුවෙන් කරන්නට ඕන කැපවීම සිදු කරන්නේ නැහැ.” ඕ රොයිටර් පුවත් සේවයට පැවැසුවාය.
මීට අමතරව වයිරසය වැලදුණේ යැයි සැක සහිතව ප්‍රතිකාර ලබන රෝගීන් හතළිස් දෙනකු ගැන අවධානය යොමු කරන්නටද ඇයට සිදුවී තිබේ. ඇය ඒ සඳහා යොදා ගන්නේ උණ සමනය කිරීම සඳහා යොදාගත හැකි ඖෂධ වර්ග කීපයක් සහ වේදනා නාශකය. එමෙන්ම වයිරසය තවදුරටත් පැතිර යෑම සීමා කිරීම සඳහා ජනතාව දැනුවත් කිරීමේ කටයුතුවලද ඇය යෙදී සිටින්නීය.
දවස මුළුල්ලේම ගෙන් ගෙට ගොස් රෝගීන් ඇත්නම් ඒ පිළිබඳව විමසා බලන්නටත් වයිරසය පිළිබඳව මිනිසුන් දැනුවත් කරන්නටත් ඇයට සිදු වී තිබේ. ආරක්ෂිත ඇදුම් කට්ටලයකින් සැරසී සිටින ඇය ඇතැම් විටක ඊට උඩින් සාම්ප්‍රදායික විටොටෝ ඇදුම සහ මැකෝ පිහාටු අහුරද පලඳාගෙන සිටින්නීය.
ඔවුනට පහර වැදී ඇත්තේ සෞඛ්‍ය පැත්තෙන් පමණක් නොවේ. වයිරසය පැතිරීම වැළැක්වීම සඳහා පනවා ඇති සීමා කිරීම හේතුවෙන් ස්වදේශිකයන්ගේ මෙන්ම සමස්ත දේශීය ආර්ථිකයද කඩා වැටී තිබේ. මේ බොහෝ දෙනා ජීවිකාව උපයා ගන්නේ ශ්‍රමය විකිණීමෙනි. කාන්තාවන් බොහෝ දෙනකු ගෘහ සේවිකාවන් වශයෙන් නගරවල සේවය කරන අතර පිරිමි නගරවල ඇති ඉදිකිරීම් බිම්වල කම්කරුවන් වශයෙන් කටයුතු කරති. එහෙත් ගමන් බිමන් කිරීම හේතුවෙන් සහ ඔවුන් වයිරස වාහකයන් විය හැකි බවට ඇතැම් කෙනකු කල්පනා කිරීම හේතුවෙන් ඔවුන්ගේ ජීවිකාවටද එල්ල වී ඇත්තේ මරු පහරකි.
රජය ස්වදේශිකයන්ගේ සෞඛ්‍ය අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටීම ප්‍රමාණවත් නැති බව බොහෝ දෙනාගේ අදහසයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් සෞඛ්‍ය බලධාරීන්ට එරෙහිව විරෝධතා ව්‍යාපාර කීපයක් පවත්වන්නටද ස්වදේශීය ජනතාව කටයුතු කර තිබිණි.
දහසකුත් වැඩ අතරේ වැන්ඩලේෂියා මේ විරෝධතා කටයුතුවලටද දායක වන්නීය. ඇය එහි එක්ව සිටියේ “ස්වදේශිකයන්ගේ ජීවිතත් ජීවිතය” (Indigenous Lives Matter) යනුවෙන් සටහන් වූ මුව වැස්මක් පලඳා ගෙනය.
ඇයට මුහුණ දෙන්නට සිදුවී තිබෙන්නේ ලෙහෙසි පහසු අභියෝගයකට නොවේ. උපකාරයක් ගන්නට ළඟපාතක ප්‍රජා සෞඛ්‍ය මධ්‍යස්ථානයක් නොමැත. අනෙක් අතට අසාධ්‍ය රෝගීන් නගරයට ගෙන යෑමේ ඉඩකඩද සීමා සහිතය. බොහෝවිට ගිලන් රථ මේ දුෂ්කර ප්‍රදේශවලට පැමිණීම ප්‍රතික්ෂේප කරන බව දැනගන්නට ලැබේ. ස්වදේශීය ජාතිකයන්ගේ සෞඛ්‍ය වෙනුවෙන් පිහිටුවා ඇති ස්වදේශීය සෞඛ්‍ය සේවය හෙවත් (Indigenous Health Service) සෙසායි (Sesai) අඩුපාඩු සහිතව වුවද ස්වදේශිකයන් සහ අනෙකුත් ගෝත්‍රිකයන් වෙසෙන ප්‍රදේශවල රෝග පාලන කටයුත්තේ නියැළී සිටී.
සෙසායි ප්‍රකාශ කර ඇත්තේ මේ වන විට වයිරස් වසංගත හේතුවෙන් ස්වදේශ ජාතිකයන් දහ දෙනකු පමණ මිය ගොස් ඇති බවයි. එහෙත් ස්වදේශීය ජාතිකයන් හා ගෝත්‍රිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන APIB ප්‍රකාශ කරන්නේ මියගිය සංඛ්‍යාව 18 දෙනකු වත් වන බවයි. ඒ කෙසේ වෙතත් බ්‍රසීලයේ දුෂ්කර ප්‍රදේශවලින් රෝගයට ගොදුරු වූවන් සහ මියගිය පුද්ගලයන්ගේ සංඛ්‍යා විස්තර හරිහැටි නොලැබෙන බවටද චෝදනා එල්ල වී තිබේ.
තිස් දෙහැවිරිදි වැන්ඩලේෂියා උපන්නේ ඇමැචුරා ගංගා ගම්මානයේය. එහෙත් මීට වසර දහයකට පෙර මනාවුස් වෙත පැමිණි ඇය හෙදියක ලෙස පුහුණුව ලැබුවාය. ඇය සමේ පිළිකා සම්බන්ධයෙන් ප්‍රතිකාර කරන සායනයක ද සේවය කළාය. ගෝලීය වසංගතය හිස එසවීමත් සමඟ ස්වදේශීය ජාතිකයන් මුහුණ පා ඇති සෞඛ්‍ය තර්ජනය සමනය කිරීම සඳහා ඇය ස්වේච්ඡාවෙන් ස්වදේශීය ගම්මානවල කටයුතු කරන්නට පටන් ගත්තාය.
අපට පෙනෙන කාරණය නම් දිනපතා දෝෂාරෝපණයන්ට ලක්වන බ්‍රසීල ජනාධිපතිවරයාට වඩා වගකීමෙන් ඇය කටයුතු කරන බවය.
උපුටා ගැනීම – මව්බිම පුවත්පත
