මත්කුඩු ජාවාරම හේතුවෙන් මේ වන විට කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ රදවා සිටින දෙහිවල සමන්ත නමැති කුඩු ජාවාරම්කරුට කාලයක සිට මත්කුඩු තොග ලැබී ඇත්තේද නාකොටික් කුඩු ගබඩාවෙන් බවට බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී තිබෙනවා.
එසේ ලැබුණු කුඩු තොග රිමාන්ඞ් බන්ධනාගාරයේ සිට ජංගම දුරකථන මගින් ලොකේෂන් ක්‍රමයට අලෙවි කරමින් චූව සමන්ත සිය ගෝලබාලයන්ද සමග කාලයක සිට මහා පරිමාණයෙන් මත්කුඩු ජාවාරම කරගෙන ගොස් තිබෙනවා
ලොකේෂන් ක්‍රමය යනු ගැනුම්කරුවකු කුඩු තොගයක් ඉල්ලා සිටින විට වටිනාකමට අදාළ මුදල ඊෂි කෑෂ් ක්‍රමයට ගෙන්වා ගැනීමෙන් පසු සිය ගෝලයකු ලවා කිසියම් ස්ථානයක කුඩු තොගය තබා ජංගම දුරකථන මගින් කුඩු තොගය තැබූ ස්ථානය පවසා එම ස්ථානය ගූගල් සිතියම මගින් දන්වා යැවීමයි.
රිමාන්ඞ් බන්ධනාගාරයේ සිට කුඩු ජාවාරමේ යෙදෙන බවට අනාවරණය වීම හේතුවෙන් පසුගිය කාලයේ මේ පුද්ගලයා බුස්ස බන්ධනාගාරයට මාරු කර යවා ඇතත් කුඩු ජාවාරමෙන් උපයා ගත් විශාල ධනස්කන්ධයෙන් රුපියල් ලක්ෂ පනහක මුදලක් ඉකුත් දිනවල බන්ධනාගාර සේවයට සමුදුන් එක්තරා නිලධාරියකුට ලබාදී යළි කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයටම පැමිණීමට සමන්ත සමත් වී තිබේ.
මේ වන විටත් සමන්ත කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ සිට මහා පරිමාණයෙන් කුඩු ජාවාරම කරගෙන යන බව බන්ධනාගාර අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.
