දූෂිත නිලධාරීන්ගේ ක්‍රියා හේතුවෙන් බන්ධනාගාරය අපරාධකරුවන්ගේ ක්‍රීඩාපිටියක් බවට පත් වී ඇති බව නීතිපති දප්පුල ද ලිවේරා මහතා පසුගිය සතියේ ප්‍රකාශ කර තිබිණි. එම නිසා මහජනයාට බන්ධනාගාර කෙරෙහි ඇති විශ්වාසය බිඳ වැටී ඇති බවද හෙතෙම අවධාරණය කර තිබුණේ කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ නිල සංචාරයක් සඳහා සහභාගි වෙමිනි. නීතිපතිවරයාගේ මේ ප්‍රකාශය සැබවින්ම අගය කළ යුතු සේම සියලූ දෙනාගේ ඇස අරවන්නක් බව පැහැදිලිව සටහන් කළ යුතුය. කංජිපානි ඉම්රාන්ගේ සිරකුටිය ආවරණය වන ලෙස රෙදි එල්ලන්නේ කවුරුන්ද යන්න ආරක්ෂක ලේකම්වරයා විසින් පසුගිය දිනක හෙළිකර තිබිණි. අපරාධකරුවන්ට පාතාලය මෙහෙයවන්නට ඉතා හොඳ වටපිටාව සැලසෙන්නේ බන්ධනාගාරය තුළදී වීම ඛේදයකි. පාතාල මර්දනය වෙනුවෙන් බන්ධනාගාර නිලධාරි විනය සෑදීම අනිවාර්ය දෙයකි.
නීතිපතිවරයා සිදු කළ කතාවේ මෙලෙස සඳහන් විය. ”මෙහි නිලධාරීන්ගේ විනයක් නෑ, රැුඳවියන්ගේ විනයක් නෑ. අල්ලස සහ දූෂණයට බන්ධනාගාර නිලධාරීන් ඇබ්බැහි වෙලා තිබෙන්නේ. ප්‍රබල අපරාධකරුවන්ගේ තහනම් භාණ්ඩ බන්ධනාගාරයට ඇතුළත් කිරීමට ඇබ්බැහි වෙලා. පාතාල කල්ලි සංවිධානය කෙරෙන්නේ බන්ධනාගාරය තුළයි. මෙහි රැඳවියන්ව නිලධාරීන් ආරක්ෂා කරනවා, නිලධාරීන්ව රැඳවියන් ආරක්ෂා කරනවා. මේ දෙගොල්ලො අතර අන්තර් සහජීවනයක් තිබෙනවා. එය නැති විය යුතුයි. බන්ධනාගාරය අපරාධකරුවන් බිහි කිරීමේ මධ්‍යස්ථානයක් බවට පත්වෙලා.”
බන්ධනාගාර නිලධාරීන් හා රැඳවියන් අතර පවතින සහජීවනය හේතුවෙන් උදාකරන්නේ රටට අයහපත බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැත. මේ සඳහා සියලූ නිලධාරීන් වගකිව යුතු නැති වුවත් කිහිපදෙනකුගෙන් වුවත් සිදුවන්නේ මහත් විපතකි. කංජිපානි ඉම්රාන්ට රෙදි එලන්නේද මෙම දූෂිතයින්ය. ඔවුන්ද පාතාල සාමාජිකයින් ගොන්නටම දමා නිසි දඬුවම් දීම සුදුසුය. ඊයේ දිනයේ එක් ජාතික පුවත්පතක ප්‍රධාන සිරස්තලය වූයේ කුඩු ජාවාරමුන්ට දුරකථන ගෙන ගිය මාතර හා මහර බන්ධනාගාර නිලධාරීන් දෙදෙනකුගේ වැඩ තහනම් කිරීමක් පිළිබඳවය.
නීතිපති කළ කතාවේ සත්‍යභාවය මේ පුවතින්ම යළි යළිත් තහවුරු නොවන්නේද? මෙවන් නිලධාරීන්ගේ වැඩ තහනම් කිරීම් පමණක් නොව නීතිය මගින් දැඩි දඬුවම් දීම ද අනිවාර්යයෙන් සිදු කළ යුත්තකි. එසේ නොවන්නේ නම් හෙටත් අනිද්දාත් බන්ධනාගාරය තුළට සිම්පත් යෑම නවතින්නේ නැත. සාමාන්‍යයෙන් කියන්නේ එළියේ හිඟ දේවල් පවා ඇතුලේ ඇති බවයි. මේ ඇතුළ අන් කවරක්වත් නොව ලංකාවේ බන්ධනාගාරයයි.
සුළු වරදකට සිරගත වන තරුණයා බන්ධනාගාරයෙන් පිටවන්නේ තමා ද පාතාලයෙක් වන අරමුණු ඇතිවය. ඒ ඊනියා ශික්ෂණය ලැබෙන්නේ බන්ධනාගාරයෙන් වීම කනගාටුවකි. එම නිසාම නිලධාරි පාතාලයෙන් බන්ධනාගාරය මුදා ගත යුතුය. මේ හේතුකොටගෙන නව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාට විශාල කාර්යභාරයක් පැවරී ඇති බව පෙනේ. එය අභියෝගයකි. එනමුත් රටට සමාජයට යහපත පිණිස එය ඉටුවිය යුතුය. ඉටු කළ යුතුය.
