විහාරස්ථාන දහම් පාසලේ ඉගෙනුම ලබමින් සිටි 9 හැවිරිදි බාල වයස්කාර දැරියක බරපතළ ලිංගික අපයෝජනයට ලක් කිරීමේ
අධිචෝදනාවට වරදකරු කරනු ලැබූ චීවරධාරියකුට කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු විකුම් ඒ කළුආරච්චි මහතා ඊයේ (18) දා බරපතළ වැඩ සහිත වසර අටක සිරදඬුවම් නියම කළේය.
එයට අමතරව විත්තිකාර චීවරධාරියාට රුපියල් දසදහසක දඩයක් ද නියම කළ විනිසුරුවරයා වින්දිත දැරියට රුපියල් 30,000 ක වන්දියක් ගෙවන ලෙසට ද නියෝග කළේය.
එකී දඩය නොගෙවන්නේ නම් මාස තුනක ලිහිල් දඬුවම් ද නියම කළ විනිසුරුවරයා වන්දිය නොගෙවන්නේ නම් එය දණ්ඩනයක් ලෙස අයකර ගැනීමටත්, එලෙස දණ්ඩනය නොගෙවන්නේ නම් අමතර මාස අටක ලිහිල් සිර දඬුවම් ලබාදීමටත් නියෝග කළේය.
කොළඹ අවට තදාසන්න ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක විහාරාධිපති ලෙස කටයුතු කළ එකී චීවරධාරියා (අවු.47) විසින් සිදුකර ඇත්තේ ඉතාමත් බරපතළ වරදක් බවත්, භික්ෂුවක වූ විත්තිකරු විශ්වාස කරමින් දහම් අධ්‍යාපනය ලැබීමට පැමිණි කුඩා දැරියකට එවැනි පහත් ක්‍රියාවක් සිදුකිරීම සුළුකොට තැකීමට තම අධිකරණයට නොහැකි බවත් පෙන්වා දෙමින් විනිසුරුවරයා එම දඬුවම් නියම කළේය.
විත්තිකාර චීවරධාරියා විහාරස්ථාන තුනක විහාරාධිපතිත්වය දරමින් බෞද්ධ ශාසනයට හා රටට සුවිශාල මෙහෙවරක් කළ අයකු මෙන්ම මේ වන විටත් එකී මෙහෙවර ඉටු කරමින් සිටින අයකු වන බැවින් ලිහිල් දඬුවම් ලබා දෙන ලෙස එකී චීවරධාරියා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටි අතර විත්තිකරු කළ හෝ කරනු මෙහෙවර දඬුවම් නියම කිරීමේදී සලකා බැලීමක් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව පැමිණිල්ල මෙහෙයවූ රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය අධිකරණයට පෙන්වා දුන්නාය.
