Gossip

සහරාන්ගේ තවත් ප්‍රහාර සැලසුමක් ගැන පාස්කු කොමිසමේදී හෙලි වේ

2014 වසරේ අලුත්ගම දර්ගා නගරයේ නොසන්සුන්කාරී තත්ත්වයක් හටගත් අවස්ථාවේ එවැනිම නොසන්සුන්තාවක් නැගෙනහිර පළාත තුළ ද ඇති කිරිමට සහරාන් ඇතුලු පිරිසක් සැලසුම් කළ බව පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබද විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේ දී අනාවරණය වී තිබෙනවා.
ඒ කාල වකවානුව වන විට නැගෙනහිර ආඥාපති ලෙස කටයුතු කළ විශ්‍රාමික මේජර් ජනරාල් ඇන්ඩෘ ලාල් පෙරේරා සාක්ෂි ලබාදෙමින් වැඩිදුරටත් සදහන් කලේ එවක ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් ස්ථාපිත කර තිබූ විශේෂ බුද්ධි අංශ හරහා එවැනි තත්ත්ව නිසි පාලනයකට නතු කර තිබූ බවටයි.
2011 වසරේ සිට 2015 වසර දක්වා නැගෙනහිර පළාත් ආඥාපති ලෙස මොහු කටයුතු කරනු ලැබුවා.
එවක ආරක්ෂක ලේකම් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නැගෙනහිර පළාත සදහා විශේෂ බුද්ධි අංශ ඛණ්ඩ දෙකක් ස්ථාපිත කළ බවටයි.
ඉන් එකක් අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික් ආවරණය වන ලෙසත් අනෙක් අංශය ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය සදහාත් ස්ථාපිත කර ඒ සදහා ත්‍රිවිධ හමුදා හා පොලිස් බුද්ධි නිලධාරීන් අනුයුක්ත කළ බවයි.
එමගින් නැගෙනහිර පළාත තුළ සිදුවන කටයුතු සමාලෝචනය කිරීම සදහා සෑම මසකම රැස්වූ බව ද, සාක්ෂිකරු සදහන් කළා.
එම කාලය තුළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු ලෙස පූජිත් ජයසුන්දර සහ නන්දන මුණසිංහ කටයුතු කළ අතර මසකට වරක් පැවැත්වූ බුද්ධි තොරතුරු සමාලෝචන රැස්වීම් සඳහා ඔවුන්ගේ නියෝජිතයන් ද එක්වූ බව සාක්ෂිකරු සදහන් කළා.
කෙසේ වෙතත් කොමිසම විමසා සිටියේ නැගෙනහිර ජන කොට්ඨාස අතර වෙනස්වීම් දක්නට ලැබු බවට නිරීක්ෂණය වී තිබුනේද යන්නයි.
කාත්තන්කුඩි හා කින්නියා ප්‍රදේශ අරාබිකරණය වීමට ආරම්භ වූවත් බුද්ධි අංශ ප්‍රබල ලෙස ඒ පිළිබද තොරතුරු සොයාගැනීම හරහා එම කටයුතු මැඩපැවැත්වීමට සමත් වූ බව සාක්ෂිකරු පෙන්වා දුන්නා.
එම කටයුතු කළ පුද්ගලයින්ට දේශපාලන සහයෝගයක් තිබුණේදැයි කොමිසම විමසා සිටියා.
සාක්ෂිකරු එහිදී පැවසුවේ ඇතැම් දේශපාලකයන් එලෙස ක්‍රියාකර තිබුනත් තමන් ඔවුන් ගැන කිසිදු තැකීමක් නොකල බවයි.
”‍එලිවෙනකොට අක්කර 100 ඩෝසර් කරපු කාලයක් තිබුණා. දීඝවාපිය, මුහුදු මහා විහාරයට අයිති ඉඩම් අහිමි වෙන්න ගත්තා. අපි ඉක්මනින් ක්‍රියාත්මක වෙලා එම ස්ථානවල කඳවුරු ඉදිකරල ඒවා ආරක්ෂා කලා”‍ ලෙස කොමිසම හමුවේ පැවසූ විශ්‍රාමික මේජර් ජෙනරාල් ඇන්ඩෘ ලාල් පෙරේරා වැඩිදුරත් සදහන් කලේ, එවැනි අකටයුතු ක්‍රියා කළ පුද්ගලයින්ට විදේශ ආධාර පවා ලැබුණු බවට බුද්ධි අංශ තොරතුරු අනාවරණය කර ගත් බවයි.
එම කාලවකවානුවේ නැගෙනහිර සිටි ප්‍රබල දේශපාලකයන් කවුරුන්දැයි කොමිසම ප්‍රශ්න කළා. සාක්ෂිකරු පිළිතුරු දෙමින් සඳහන් කලේ, කාත්තන්කුඩි ප්‍රදේශය තුළ වැඩි වශයෙන් දේශපාලන ක්‍රියාවල නිරත වූයේ එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා බවයි.
එමෙන්ම හිටපු අමාත්‍ය රවුෆ් හකීම් වරක් දීඝවාපිය අවට සිදුවූ ඉඩම් ගැටලු‍ විසදීමට තමන් විසින් ස්ථාපිත කල කඳවුරු ඉවත් කරන ලෙස ඉහල නිලධාරීන්ට බලපෑම් කර තිබූ බවයි.
2014 වසරේ අලු‍ත්ගම දර්ගා නගරය ප්‍රදේශයේ සිදුවූ ගැටුමෙන් පසු එම දිනවලම නැගෙනහිර පළාත තුළ පන්සලකට හෝ භික්ෂූන් වහන්සේ නමකට පහරදීමට තවිහිද් ජමාත් සංවිධානයේ පිරිසක් සැලසුම් සකස් කරමින් සිටි බවට බුද්ධි නිලධාරීන් ඉතා සූක්ෂමව තොරතුරු අනාවරණ කර ගත් බව සාක්ෂිකරු කොමිසමට ප්‍රකාශ කළා.
පසුදින උදෑසනම එලෙස සැලසුම් කළ පිරිස තම කඳවුරට ගෙන්වා දැඩි ලෙස අවවාද කර පිටත් කිරීමෙන් පසු එම සිද්ධිය වැළකී ගිය බවයි සාක්ෂිකරු සඳහන් කළේ.
කොමිසම එහිදී ප්‍රශ්න කලේ එම පිරිස අතර සිටි අය අතර පසුගිය වසරේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධය අය සිටි බවට පසුව හෙලිවූයේද යන්නයි. එම පිරිස අතර සහරාන් හෂීම් සිටි බවට තමන් ප්‍රහාරයෙන් පසු දැනගත් බව සාක්ෂිකරු සදහන් කළා.
කොමිසම එහිදී විමසුවේ එතරම් ප්‍රබල ලෙස ක්‍රියාත්මක වූ බුද්ධි අංශයකට පසුව සිදුවූයේ කුමක්ද යන්නයි.
2015 වසරේ නව රජය පැමිණීමෙන් පසු තමන්ගේ සේවා කාලය අවසන් වීම හේතුවෙන් තමන්ට ස්ථාන මාරුවක් ලැබුණු බවත් ඉන් පසු බුද්ධි අංශ ක්‍රමයෙන් දුර්වල වීමට විවිධ කරුණු බලපෑ බව පෙන්වා දුන් සාක්ෂිකරු පෙන්වා දුන්නා.
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!