අභිශේකා විමලවීර සිය නවමත ගීතය නේත්‍රා නමින් පසුගිය මැයි මස 13 වෙනිදා සවස 6 පසු වි මිනිත්තු තිහට අන්තර්ජාලයට මුදාහරිනු ලැබුවා. නේත්‍රා අනත්ර්ජාලයට නිකුත් කර ගෙවුන පළමු පැය තුළ ලක්ෂය ඉක්මවන ප්‍රේක්ෂක සංඛ්‍යාවක් ගීතය නරඹා තිබූ අතර රසික රසිකාවියන් හැත්තෑපන්දහසක් ස්වකීය කැමැත්ත එම ගීතය වෙත සටහන් කර තිබෙනවා. නිරන්තරනේ බිහිවන පෙම් ගී විරහ ගී පසුකරමින් මව් ගුණ ගීතයක් මේ තරම් වේගවත් ජනප්‍රියත්වයක් ලබා ගැනීම සැබැවින්ම සුවිශේෂ නිමිත්තක්. එපමණක් නොව අභිශේකා මෙම ගීතය සිය රසිකයන් වෙත මුදාහරිනු ලබන්නෙ කෙටි නැවතුම් කාලයකින් ඉක්බිතිවයි. මන්ද 2019 වසරේ පෙබරවාරි මාසයේ ඇය ප්‍රකාශ කර සිටියේ තමන් කලාවෙන් සමුගන්නා බවයි. එම තීරණය සමග වසරකට එහා කාලයක් මුනිවත රැක්ක අභිශේකා සිය නිහැඬියාව බිඳ දැමුවේ මහා මේඝයක් තරම් බලවත් නිර්මාණාත්මක හුස්මකින්.
නේත්‍රා සංකල්පය බිහිවෙන්න කවදා කොතනකදීද?
මේ නිර්මාණයේ පද රචනාවත් එක්ක බැඳුණ කතා සංකලක්පයක් මගේ හිතේ තිබුණා. හැබැයි මෙම ගීතයේ රූප රචනාව සම්බන්ධ සියලු නිර්මාණ කටයුතු කළේ ෂමිල් පතිරණ. අපිට මේ ගීතය නිර්මාණය කරගන්න මාස ගානක් ගියා කොරෝනා එන්න ඉස්සර මම හිතාගෙන හිටියේ මේක ටිකක් ලොකු වැඩක් විදිහට රූගත කිරීම් කරන්න හැබැයි කොරෝනා ආවත් එක්ක පහසුකම් අඩුවුණා.
නේත්‍රා සඳහා පදවැල් බැඳෙන්නෙ කොහොමද?
මීට අවුරුද්දකට විතර පෙර දවසක මම සිහිනයකි රෑ බලමින් හිටියා. එදා ගීත තෝරන්න පැමිණ සිටි ආරාධිතයා වූයේ කපිල එම්. ගමගේ මහත්මය. වැඩසටහනේදි මහේෂ් අයියා කපිල එම්. ගමගේ මහත්මයගෙන් විමසුවා ‘හොඳට ලියන තරුණ අය ගැන මොකද හිතෙන්නෙ කියලා’ ඒ විමසුමට ඔහු පිළිතුරු දුන්නේ නව පරපුරේ තරුණයෙක් ලියපු කවි පන්තියකින් ඒහි කවි පහක් තිබුණා. ඒ කවි පහේ අවසන් පද පේළිය වෙත ඇසුරෙන් ගීතයක් කරන්න මට සිතක් පහළ වුණා. ඒ අනුව නිර්මාණය කරපු ජනිත් විතාරණ සොහොයුරා සොයාගෙන ඔහුට පැවසුවා මට මේ කවිය ගීතයක් කරනන් ඕන කියලා. මම මුල් පද පේළි ටික ලිව්වා සාමාන්‍යයෙන් නිර්මාණකරුවෙක් ඒකට කැමති වෙන්නෙ නැහැ. නමුත් ඔහු මට අවසර දුන්නා ඔහුගේ නිර්මාණයේ අවසන් පදවැල් ටික යොදාගෙන මම මුලින් නිර්මාණය කරපු පදවැල් යොදලා මේ නිර්මාණය කරනවට. මම ඒ ගිතයේ පද ලියන්න සම්බන්ධ වුණාට මම පද රචනයේ සම්පුර්ණ අයිතිය දෙන්නෙ ජනිත් විතාරණගේ මල්ලිට.
මෙහි රූපරාමු වෙනස් නේද?
සමස්ත නිර්මාණයටම ඒ වෙනස දෙන්න මට උවමනා කරල තිබුණා. හැම දරුවකුටම තමන්ගේ අම්මා ගැන හෝ තාත්තා ගැන නතර වෙලා හිතන්න දවසක් එනවා. හැබැයි අපි කවදාවත් හිතන්නෙ නැහැ අපිට එහෙම දවසක් එනව කියලා. මටත් එහෙම හිතන්න සිද්ධ වුණ දවසක් ආවා. ඒ මගේ තාත්තගෙ මරණයත් එකක් මට ගොඩක් දේවල් කරන්න බැරිවුණා කියලා මට හිතෙන්න ගත්තා. හොඳට හිටිය මගේ තාත්තාට උණක් හැදිලා වෛද්‍ය වාර්තා අරන් මම වෛද්‍යවරයා හමුවෙන්න ගිය වෙලාවෙ වෛද්‍යවරයා මට පැවසුවා ඔයාගේ තාත්තා තව දවස් හතයි ජීවත් වෙන්නෙ කියලා. ඒ මොහොතේ මං මොනවද මගේ තාත්තා වෙනුවෙන් කරන්නෙ කියලා හිතාගන්න බැරිවුණා. කෙනකුට ඒ දවස් හතත් නැතිවත් එක පාරටම තමන්ගේ මවගේ හෝ පියාගේ අභාවය විඳගන්න වෙනවා. හැබැයි අපි කවදාවත් හිතන්නෙ නැහැනේ මගේ අම්මගෙ හෝ තාත්තගෙ මරණය කොයි මොහොතේ හෝ සිදුවෙයි කියලා. අපි හිතන්නෙ නැති ඔය කාරණය හිතන්න හැම දරුවෙක්ම පොලඹවන්නයි මම මේ නිර්මාණය කළේ.
පසුගිය වසරේ පෙරබරවාරි මාසයේ ඔබ කලා කටයුතුවලින් ඉවත් වන බවට ප්‍රකාශ කර සිටියා නේද?
මිනිස්සුන්ගෙ හිත වෙනස් වෙනවා. මම හරිම අකමැතියි කිසිම වැරැද්දක් නොකරන කෙනෙකුට දොස් කියනවට. ඔය කාලයේ මුළු රටේම ජනතාව ඉතාම අති පූජනීයයි කියලා සලකන අවුරුදු හැත්තෑ ගාණක් විතර වෙන හැමෝම ආදරය කරන ගායිකාවක් තමන්ගේ ගීතයක් සමාජ මාධ්‍යජාලාවලට එක්කරල තිබුණා, ඇගේ ගීතයකට ජනතාව ඉතාම අසභ්‍ය වචනවලින් ප්‍රතිචාර දක්වල තිබුණා. ඇයි ඒ කෙනාට එහෙම කළේ කියල මට හිතාගන්න බැරිවුණා. මට ඒ වෙලාවේ කලකිරීමක් ඇති වුණා. ඇයි අපි මේ තරම් මහන්සි වෙලා මිනිස්සු වෙනුවෙන් නිර්මාණ කරලා මිනිස්සුන්ගෙන් බැණුම් අහන්නෙ කියලා. ඒ මොහොතෙ මම තීරණය කළා ආයෙත් මම කලා නිර්මාණ කරන්නෙ නැහැ කියලා. මම මගේ පෞද්ගලික ජීවිතය ගත කරගෙන ඉන්නව කියලා.
නමුත් අද ඔබ ආයෙත් නිර්මාණ කරන්න යොමුවෙලා තියෙනවා නේද?
එක දවසක රූපවාහිනියේ එකතරා වැඩසටහනක් විකාශය වෙත්දි මගේ දුව රූපවාහිනිය ක්‍රියා විරහිත කරලා මගෙන් ඇහුවා අම්මි ඇයි ඔයා සිංදු කියන්නෙ නැත්තේ කියලා. එදා මට තේරුණා මං කරන දේවල් බලන් ඉන්න කෙනෙක් ඉන්නවා කියලා. මම හොඳ කලා නිර්මාණයක් කළොත් මගේ දුවට ඒක හොඳයි කියලා.
අභිෂ්කා වෘත්තීය ගායිකාවක් නෙවෙයිද?
මම වෘත්තීය රූපලාවණ්‍ය ශිල්පිනියක්. මම අභි නමින් නුගේගොඩ හා කොල්ලුපිටියෙ රුපලාවණ්යා ගාර දෙකක් පවත්වගෙන යනවා. ජපානයට හා මාලදිවයිනට අපේ රුපලාවණ්‍ය නිෂ්පාදනය අපනයනය කරනවා ඊට අමතරව මම කොළඹ විශ්වවිද්‍යාලයේ සංගීත විෂය සම්බන්ධව බාහිර කථිකාචාර්යවරියක් විදිහට වැඩ කරනවා. ඒ එක්කම මම පසුගියදා කැලණිය විශ්විද්‍යාලයෙන් සංගීත අංශයෙන් පණඩිත් ශාස්ත්‍රපති විභාගය අවසන් කළා. ඊට අමතරව පවුල් ජීවිතයේ වැඩයි බබාගෙ වැඩ කරගෙන ඉන්නවා.
