කොරෝනා වසංගතය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදය වසා දමා ඇති මොහොතක මව විසින් ලම්බෝගනී වර්ගයේ සුපිරි මෝටර් රථයක් තමාට මිල දී ගෙන දීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් එවැනි මෝටර් රථයක් මිල දී ගැනීම සඳහා පවුලේ මෝටර් රථය පදවාගෙන යමින් සිටි ඇමරිකා එක්සත් ජනපදයේ උටා ප්‍රාන්තයේ පස් හැවිරිදි පිරිමි දරුවෙකු අධිවේගී මාර්ගයේ මංතීරුවක් අසළදී කොටු කරගැනීමට උටා ප්‍රාන්ත පොලිස් නිලධාරීන් පිරිසක් විසින් පියවර ගෙන් තිබිණි.
පැයට සැතපුම් 32 ක වේගයෙන් “සුව් “වර්ගයේ මෝටර් රථයක් පදවාගෙන ගොස් ඇති මෙම පස් හැවිරිදි එඩ්රියන් නමැති පිරිමි දරුවා මුළදී පොලිස් මෝටර් රථ ප්‍රවාහන අංශය විසින් මෝටර් රථය නවත්වන ලෙසට කරන ලද සංඥාවට අනුව රථය නතර කර නැතත් පොලිස් සයිරන් නලා ශබ්දය ඇසීමෙන් පසු වාහනය නතර කර ඇති බව එම අවස්ථාවේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිළධාරීවරයා වන රික් මෝගන් ප්‍රකාශ කර තිබේ.
අධිවේගී මාර්ගයේ මාර්ග සළකුණු අතර එහාට මෙහාට පැද්දෙමින් ගමන් කර ඇති මෙම කුඩා දරුවා විසින් පැදවූ වාහනය ඔහුගේ නිවසේ සිට සැතපුම් 2-3 අතර දුරක් ධාවනය කර තිබු බව අනාවරණය වී තිබේ.
මෙම දරුවා සිය පවුලේ මෝටර් රථය පදවාගෙන යාමට සැරසී ඇත්තේ සුපිරි ලම්බෝගනී මෝටර් රථයක් මිල දී ගැනීම සඳහා කැලිෆෝර්නියා ප්‍රාන්තයට බව ඔහු පොලිසියට පවසා ඇති අතර කැලිෆෝර්නියාවේ පදිංචි සිය සහෝදරියගේ නිවසට යන බවක්ද ඔහු සඳහන් කර තිබේ.
තිරිංග පෑගීම සඳහා පහසු වන සේ වාහනයේ ඉදිරිපස රියදුරු අසුනේ ඉදිරි කොටසට වන්නට අසුන් ගෙන සිට ඇති මොහු පොලිස් නිලධාරීන්ට පවසා ඇත්තේ තමා විසින් ලම්බෝගනී වර්ගයේ සුපිරි මෝටර් රථයක් මිල දී ගෙන දෙන ලෙසට මවගෙන් කළ ඉල්ලීම ඇය විසින් ප්‍රතික්ෂේප කර ඇති අතර පසුව තමා විසින්ම ඇමරිකානු ඩොලර් එක් ලක්ෂ අසු දහසකට වඩා වටිනා ලම්බෝගනී වර්ගයේ මෝටර් රථයක් මිල දී ගන්නා බව තීරණය කර මෝටර් රථය පදවාගෙන ආ බවයි.
මෙම කුඩා දරුවා මෝටර් රථය පදවාගෙන යන අවස්ථාවේ නවත්වාගෙන ඇත්තේ ඔග්ඩෙන් නැමති නගරයේදී වන අතර ඔහුගේ පසුම්බියේ ඇමරිකානු ඩොලර් 3 ක මුදලක් තිබු බව පොලිසිය පවසයි.
මෝටර් රථ ප්‍රවාහන පොලිස් නිලධාරීන් පුදුම වී ඇත්තේ මෙම දරුවාගේ වයස පිළිබඳව පමණක් නොව ඔහු කැලිෆෝනියා ප්‍රාන්තය වෙත යා යුතු නිවැරදි මාර්ගයේ ගමන් කිරීමත් ,සයිරන් නලා හඬට අවනතව වාහනය නැවැත්වීමත් .මෙයට පෙර වාහනයක් පදවා නොතිබියදී මෙතරම් අඩු වයසින් පෙර පුහුණුවක් නොමැතිව වාහනය පදවා ගෙන කිසිදු අනතුරක් නොවී රථය ආ දුර පදවා ගෙන යාම යන කරුණු හේතුවෙනි.
එම දරුවාගේ මව හා පියා රැකියාවල නිරතව සිටීම නිසා මෙම කුඩා දරුවා ඔහුගේ සහෝදරයෙකු භාරයේ තබා රැකියාවලට ගොස් සිටියදී රාක්කයක තබා තිබු රථයේ යතුරු කැරැල්ල රැගෙන මෙසේ වාහනය පැදවීමට ඔහු ක්‍රියා කර ඇති බව හෙළි වී තිබේ.
පොලිසිය මෙම දරුවා රැගත් වාහනය නතර කරන අවස්ථාවේ ඔහුගේ දෙමව්පියන් ඔහුව සොයමින් සිට ඇති බව වාර්තා වී තිබේ .උටා ප්‍රාන්ත පොලිසිය මෙම සිද්ධිය පිළිබඳව මාධ්‍ය හමුවේ විස්තර කරමින් පවසා ඇත්තේ මෙවැනි සිද්ධීන් තවත් ඇති නොවීමට කුඩා දරුවන්ට හසු නොවන සේ වාහනවල යතුරු කැරලි ආරක්‍ෂිත ස්ථානයක තැබීමට දෙමවුපියන් කටයතු කළ යුතු බවයි.
වාහනය පැදවූ කුඩා දරුවාව ඔහුගේ දෙමවුපියන්ට භාර දී ඇති අතර මෙම සිද්ධිය පිළිබඳව ඔග්ඩෙන් හි සුළු වැරදි පිලිබඳ පහළ උසාවියේ දරුවාගේ දෙමවුපියන්ට එරෙහිව නඩු පැවරීමට ඉඩ ඇති බව වාර්තා වේ.
ඒමන්ති මාරඹේ
