කොළඹ, මෝදර මෙත්සඳ සෙවණ ”බී” මහල් නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි 52 හැවිරිදි මුස්ලිම් ජාතික කාන්තාවක කොරෝනා ආසාදිතව මියයෑමෙන් පසු එම මියගිය කාන්තාවගේ සැමියා, දරුවන් හයදෙනා ඇතුළු සමීපව ඇසුරු කළ 13 වැනි මහලේ පුද්ගලයින් 15 දෙනාගේ සිදුකරන ලද පරීක්ෂණවලදී ඔවුන්ට කොරෝනා ආසාදනය වී නොමැති බව තහවුරු කරගෙන තිබෙනවා.
එසේම, එම ”බී” මහල් නිවාස සංකීර්ණයේ පදිංචි මේ වනවිට ස්වයං නිරෝධායනයේ යෙදෙන අහඹු ලෙස තෝරා ගත් 60 දෙනකු පී.සී.ආර්. පරීක්ෂණයකටද ලක්කර තිබෙනවා.
මෙම කොරෝනා මරණයත් සමඟ”මෙත්සඳ සෙවණ” මහල් නිවාස සංකීර්ණයේ ”බී” නිවාස සංකීර්ණය ඇතුළු මහල් නිවාස සංකීර්ණ තුනක පදිංචි 1300 දෙනකු හට සිය නිවෙස් තුළම ස්වයං නිරෝධායනයේ යෙදෙන ලෙසට උපදෙස් ලබාදුන් බවත්, ඒ අනුව ඔවුන් ස්වයං නිරෝධායනයේ යෙදෙන බවත්,ප‍්‍රදේශයම හුදෙකලා ප‍්‍රදේශයක් බවට පත්කර ඇති බවත් සඳහන්.
එම නිවාස සංකීර්ණයේ පදිංචිව සිට මියගිය කොරෝනා ආසාදිත කාන්තාව මාසයක පමණ කාලයක් රෝගාතුරව සිට ඇති බවත්, මැය පෞද්ගලික බෙහෙත් ශාලාවල්වලින් බෙහෙත් ලබාගෙන තිබුණා.
පසුව මීට දින තුනකට උඩදී ස්වසන ආබාධයකට හා පපුවේ අමාරුවක් හේතුවෙන් ඇය කොළඹ ජාතික රෝහලට ඇතුළත් වී තිබේ. පසුව එහිදී සිදුකළ පී.සී.ආර්.පරීක්ෂණයේදී ඇයට කොරෝනා ආසාදිත වී ඇතැයි හෙළිවුණා.
පසුව ඇයව කොළඹ ජාතික රෝහලේ සිට අංගොඩ අයි.ඞී.එච්.රෝහලට මාරුකර යැවුණු අතර, එහි දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා(05 වැනිදා) ඇය මියගියා.
මෙරටදී සිදු වූ 9 වැනි කොරෝනා ආසාදිත මරණය ලෙස මෙම කාන්තාවගේ මරණය සටහන් වුණා.
