Gossip

සඳුදා ඇඳිරි නීතිය ලිහිල් කරනවද ?

රජය මගින් ප‍්‍රකාශයට පත් කර ඇති ආකාරයට ඊයේ (6 වැනිදා) රාති‍්‍ර 8.00 සිට පැනවූ ඇදිරි නීතිය ලබන 11 වැනිදා අලූයම 5.00 දක්වා සමස්ත දිවයිනටම කි‍්‍රයාත්මක කෙරේ. ලබන එකොළොස් වැනිදා වන විට කොරෝනා තත්ත්වය යහපත් අතට පත්වුවහොත් එදින සිට ඇදිරි නීතිය ලිහිල් කිරීම පිළිබද බලාපොරොත්තුවක් තබාගත හැකි බව සම කැබිනට් ප‍්‍රකාශක ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

කැබිනට් තීරණ දැනුම් දීම සදහා රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (6 වැනිදා) පැවති මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව සදහන් කළේය.

සමාජ දුරස්ථභාවය ඇතුළු සෞඛ්‍ය අංශ ලබා දෙන උපදෙස් පිළිපදිමින් ජනතාව ඉදිරි දින කිහිපයේත් යහපත්ව සිය චර්යා රටා පවත්වා ගන්නැයි ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී සහ යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඊයේ (6 වැනිදා) මාධ්‍ය අමතමින් පැවසීය.

ඉදිරියේ දී ඇඳිරිනීතිය ලිහිල් කිරීමට රජය කටයුතු කිරීමත් සමග කොවිඞ් -19 වෛරසය ව්‍යාප්තියේ යම් වර්ධනයක් සිදු වුවහොත් එය පාලනයට හා ප‍්‍රතිකාර සේවාවන් සිදුකිරීමේ දී ඇතිවන ඕනෑම අවදානම් තත්ත්වයකට මුහුණදීමට වෛද්‍ය, හෙද, රසායනාගාර ඇතුලූ‍ සියලූ සෞඛ්‍ය කාර්ය මණ්ඩල ශක්තිමත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත.

කොරෝනා (කොවිඞ් 19) වෛරසය පැතිරයාම පාලනය කිරීම සඳහා තවදුරටත් ගත යුතු විශේෂිත ක‍්‍රියාමාර්ග පිළිබදව තීන්දු තීරණ ගැනීම සඳහා සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය පිහිටුවන ලද විශේෂ ක‍්‍රියාකාරී කාර්යසාධන සමාලෝචන කමිටුව ඊයේ (06දා) සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ශ‍්‍රවනාගාරයේදී රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන තිබේ.

එසේම ඉදිරි කාලය තුළ ඇඳිරිනීතිය ලිහිල් කිරීමෙන් පසු ද සමාජ දුරස්ථභාවය තබා ගනිමින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබාදෙනු ලැබූ සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් එලෙසම පිළිපදින ලෙස ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදී.

වෛරසය සම්බන්ධව සිදු කරනු ලබන පරීක්ෂණ කටයුතුවලට අදාලව අවශ්‍ය අමතර සෞඛ්‍ය කාර්ය මණ්ඩල යොදවා ගැනීමටත් ඔවුන් සඳහා විශේෂ පුහුණුවක් ලබාදීම පිළිබඳවත් ග‍්‍රාමීය, දිසා හා මූලික රෝහල් වල සේවය කරන සහ අවදානම් රාජකාරියේ යෙදෙන සියලූ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා ආරක්ෂිත ඇඳුම් කට්ටල හිඟයකින් තොරව ලබාදීමටත්, වෛරසය පාලනය හා මැඬපැවැත්වීම සඳහා දැනට සිදු කරනු ලබන වැඩපිළිවෙල තවත් ශක්තිමත් කිරීමට ගත යුතු ඉදිරි ක‍්‍රියාමාර්ග පිළිබඳවත් මෙම සාකච්ඡාවේදී අවධානයට ලක්විය.

මෙම විශේෂ කාර්යසාධන සමාලෝචන කමිටුව වෛද්‍ය පරිපාලකයන්, පරිපාලන සේවයේ නිලධාරීන් හා විශේෂඥ වෛද්‍යවරුන් 35 දෙනෙකු නියෝජනය කරන අතර දින දෙකකට වරක් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය වරියගේ ප‍්‍රධානත්වයෙන් රැස්වේ.

මෙම අවස්ථාවට විශේෂ කාර්ය සාධන සමාලෝචන කමිටුව නියෝජනය කරමින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධක්ෂ ජනරාල් වෛද්‍ය පබා පලිහවඩන, අමාත්‍යවරියගේ පෞද්ගලික ලේකම්, සබරගමුව පළාත් සභාවේ සභාපති කංචන ජයරත්න යන මහත්ම මහත්මීන් ද විශේෂඥ වෛද්‍යවරුන් ඇතුලූ‍ නිලධාරීන් පිරිසක් ද සහභාගි වූහ.

සමන් ගමගේ

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!