කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්කවල ඇඳිරිනීතිය තිබියදී ජන ජීවිතය සහ ආයතන ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම මැයි 11 වැනිදා සිට ඇරඹීමට රජය තීරණය කර ඇත.
එම දිස්ත්‍රික්කවල අත්‍යාවශ්‍ය සේවා පවත්වා ගැනීම ඇතුළු ජනජීවිතය සහ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම පිණිස රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ ආයතන සඳුදා සිට විවෘත කර පවත්වාගෙන යා යුතු බවත්, සේවා අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් ඒ සඳහා අවශ්‍ය සැලසුම් දැන් සිටම සකස් කරන ලෙසත් රජය ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබේ.
එසේම ආයතන විවෘත කර පවත්වාගෙන යෑමේදී ‘කොවිඞ් 19’ වසංගතය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා ප්රමුඛ සෞඛ්‍ය බලධාරීන් නියම කර ඇති මාර්ගෝපදේශ මුළුමනින්ම ආයතන ප්‍රධානීන් විසින් පිළිපැදිය යුතු බවත් රජය දන්වා සිටියි.
දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල ඇතුළු රාජ්‍ය ආයතනවල සේවයට කැඳවිය යුතු සේවක සංඛ්‍යාව සහ සේවයට කැඳවන්නේ කුමන සේවකයන් ද යන්න ආයතන ප්‍රධානියාගේ අභිමතය අනුව තීරණය කිරීමට රජය අවසර ලබාදී ඇත. පෞද්ගලික අංශයේ ආයතන විවෘත කළ යුතු වේලාව උදේ 10.00 ලෙස නියම කර තිබේ.
වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ජනතාව අනවශ්‍ය ලෙස මහා මාර්ගයට පැමිණීම සහ වෙනත් ස්ථානවල එක්රැස්වීම තහනම් කර ඇත. ගමනාගමන මණ්ඩල බස්රථවල සහ දුම්රිය මැදිරිවල මගී ප්‍රවාහනය රැකියා සඳහා යන එන අයට පමණක් සීමා කර ඇත.
අත්‍යාවශයෙන්ම සේවයට වාර්තා කළ යුතු අය හැර රෝග නිවාරණයට සහාය වනු පිණිස නිවෙස්වලම රැඳී සිටින්නැයි රජය සෙසු පිරිස්වලින් ඉල්ලීමක් කරයි. කවරකු හෝ නිවසින් බැහැර යා යුත්තේ ආහාර හා ඖෂධ වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ හා ද්‍රව්‍ය මිලට ගැනීමට පමණක් බවත්, මේ සෑම අවස්ථාවක ම කොරෝනා පාලන සෞඛ්‍ය නිර්දේශ අනිවාර්යයෙන්ම පිළිපැදිය යුතු බවත් රජය සඳහන් කරයි.
එසේම පොලිස් බලධාරීන් විසින් නිකුත් කර ඇති ඇඳිරිනීති බලපත් වලංගු වන්නේ රියැදුරු සහ රථයේ ගමන් කරන අය මුඛ ආවරණ පැළඳ සිටින්නේ නම් පමණක් බවත් රජය වැඩිදුරටත් පවසයි.
