Gossip

”මේ මොහොතේ අපගේ මරණ සහතිකය තිබෙන්නේ අපගේ අතේ. එයට දිනයක් නියම කිරීමේ හැකියාවද අප අතේය”

ඇඳිරි නීතිය ඉවත් කළද තවදුරටත් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් තමන්ගේ ආරක්ෂාව සලසා ගන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පබා පළිහවඩන මහත්මිය පැවසූ බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය.

මේ මොහොතේදී සියල්ලන්ටම ඉහළින් වෛද්‍ය විශේෂඥයන්ගේ උපදෙස් පිළිපැදීම මාරාන්තික වයිරසයෙන් ගැලවී යන එකම මඟ බවට අවධාරණය විය යුතුය.

එකිනෙකාගේ මනස්වල දිග පළලට අනුව කෙරෙන විග්‍රහ හා විවේචන මේ මොහොතට අදාළම නැත. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පබා පළිහවඩන මහත්මිය ලබාදෙන උපදෙස් සම්බන්ධයෙන් නියත අවධානය යොමු කළ යුතු වන්නේ එහෙයිනි.

ගුවන් නියමුවකුට ඔහුගේ පුහුණු කාලයේදී ලබාදෙන ප්‍රධාන උපදේශයක් වන්නේ ඔබට අත්වැරදීමකට කිසිදු ඉඩක් නැත යන්නය. මහ පොළොවේ හෝ සාගරයේ සිදුවන යම් අත්වැරැද්දක් වේ නම් එය ඊළඟ නිමේෂයේදී නිවැරැදි කරගත හැකිය. එහෙත් ගුවනේදී එය එසේ නොවේ. ගුවනේදී යම් අත්වැරැද්දක් වේ නම් එය අත්වැරැද්දක්ද කියා සිතා ගැනීමටවත් කාලයක් ඉතිරි නොවී ජීවිතවලින්ම වන්දි ගෙවීමට සිදුවනු නියතය.

එහෙයින්ම මේ මොහොත යනු ගුවනට අදාළව දෙනු ලැබූ උපදේශයක් මහ පොළොවේ ජීවමාන යථාර්ථයක් බවට පත්කර ගැනීමට බල කෙරුණු නිමේෂයක් වේ.

කොරෝනා මාරාන්තික වයිරසය ව්‍යාප්තිය පාලනය කිරීමේදී ඇතැම් බලවත් රටවල් හා සසඳනවිට අප රට බොහෝ ඉදිරියෙන් සිටියේය. කුහක නොවන ඕනෑම කෙනකු එය ඒකාන්ත සත්‍යයකැයි පිළිගනු නියතය. එහෙත් කොළඹ කෙසෙල්වත්ත බණ්ඩාරනායක මාවත ආශ්‍රිත වතු මෙන්ම වැලිසර නාවික හමුදා කඳවුරද එම තත්ත්වය මුළුමනින්ම වෙනත් තලයකට රැගෙන ගියේය. කොතැනක හෝ සිදුවූ අත්වැරදීමක් නිසා මෙම සටහන තබන මොහොත වනවිට කොරෝනා මාරාන්තික වයිරසය ආසාදිතයන්ගේ සංඛ්‍යාව 600 ඉක්මවා ඉහළ නැඟ තිබේ. මේ වනවිට කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව ටැක්සි මීටරය බවට පත්ව තිබේ. මුළුමහත් සමාජයටම මරණ බිය රැගෙන ඒමට තරම් තත්ත්වය බිහිසුණුය යන්න ඒකාන්තය. මෙම තත්ත්වය නිරීක්ෂණය වීම සඳහා අපේම අත්වැරදීම්, නොසලකා හැරීම් කොතරම් බලවත් ලෙස දායක වූයේ දැයි සන්සුන් මනසින් මෙනෙහි කළ යුතු භාවනා කමටහනකි.

ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල එම ඇඳිරි නීතිය ඉවත් කළ සැණින් සියල්ල යහපත් අතට හැරී ඇතැයි යමකුට සිතිය හැකිය. එසේ යහපත් අතට හැරී නොමැතිනම් ඇඳිරි නීතිය ඉවත් නොකරනු ඇතැයි ඔහුගේ තාර්කික බුද්ධියට වැටහී යා හැකිය. ඇසට පෙනෙන සියල්ල සත්‍යනම් ලෝකයට විසඳුමක් අවශ්‍ය නොවේය යන්න යථාර්ථයකි. එළැඹ ඇත්තේ තම තමන්ගේ මනස්වල දිග පළලට අනුව තත්ත්වය විග්‍රහ කරගත යුතු මොහොතක් නොවන බව ඒකාන්ත වශයෙන්ම අවධාරණය විය යුතුය.

කොරෝනා යනු ලෝක වසංගත තත්ත්වයකි. මෙබඳු ලෝක උවදුරකට මුළු මහත් ලෝකයම නතුවී තිබෙන්නේ සියවසකට පසුවය. කොරෝනා වයිරසය යනු පූර්ව අත්දැකීම් සහිත වයිරසයක්ද නොවේ. පියවරෙන් පියවර කළ යුත්තේ කුමක්දැයි සිතමින් සෞඛ්‍ය විශේෂඥයන්ට පවා කටයුතු කිරීමට සිදුව ඇති තත්ත්වයකි. එමෙන්ම කොරෝනා යනු ඇඳිරි නීතියෙන් පාලනය වන හෝ පාලනය කළ හැකි වයිරසයක්ද නොවේ.

ඇඳිරි නීතියෙන් බලාපොරොත්තු වන්නේ මිනිස් චර්යා පාලනය කිරීමය. එහෙයින් ඇඳිරි නීතිය හා කොරෝනා වයිරසය අතර කිසිදු සම්බන්ධයක් නැතුවා සේම ඇඳිරි නීතිය ඉවත් කිරීම හා කොරෝනා වයිරසය අතර සම්බන්ධයක්ද නැත.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පබා පළිහවඩන මහත්මිය ප්‍රකාශ කර ඇති පරිදිම ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් බලාපොරොත්තු වන්නේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමය. එහෙයින් ඇඳිරි නීතිය ඉවත් කළද රජයේ කාර්යාල, පෞද්ගලික සේවා ස්ථාන හා ඔසුසල් මෙන්ම වෙළඳසල් ආදියට ගියද මීටරයක සීමාව පවත්වාගෙන යාම නිතර දෑත් සේදීම හා මුඛ ආවරණ පැළඳීම අනිවාර්යය බව’ එම මහත්මිය පවසන්නීය.

මේ මොහොතේ අපගේ මරණ සහතිකය තිබෙන්නේ අපගේ අතේය. එයට දිනයක් නියම කිරීමේ හැකියාවද අප අතේය. ඔබ බුද්ධිමත් විය යුත්තේ එහෙයිනි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!