කොරෝනා වෛරසය ඇමරිකා එක්සත් ජනපදයට පැමිණ නැතැයි සැලකූ පසුගිය පෙබරවාරි මාසයේදී කැලිෆෝනියාවේ පුද්ගලයන් දෙදෙනකු කොවිඩ් – 19 ආසාදනය වී මියගොස් ඇතැයි තහවුරු කරගෙන තිබේ.
සී.එන්.එන්. (CNN) පුවත් සේවය වාර්තා කර ඇති ආකාරයට ඇමරිකාවෙන් වාර්තා වන පළමු කොවිඩ් – 19 මරණ වන්නේ එම මරණය.
මෙම පුද්ගලයන් දෙදෙනා උතුරු කැලිෆෝනියාවේ පැන්ටා ක්ලාරා ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන්ගේ මරණ පෙබරවාරි 2 හා 17 යන දිනවලදී වාර්තා වී ඇත.
මීට පෙර වොෂින්ටනය විසින් නිල වශයෙන් ප්‍රකාශ කර තිබූ ආකාරයට ඇමරිකාවේ පළමු කොවිඩ් – 19 මරණය සිදුව ඇත්තේ පෙබරවාරි 29 වැනිදාය.
ඒ අනුව වෛරසය නිවැරදිව හඳුනා ගැනීමට ප්‍රථම ඇමරිකානුවන් සැලකිය යුතු පිරිසක් ඉන් රෝගීව තවත් පිරිසක් මරණයට පත්ව ඇතැයි සැක කෙරෙන බවත් ඒ පිළිබඳ විමර්ශන මේ වන විටත් ආරම්භ කර ඇතැයි ද වාර්තා සඳහන් කරයි.
මරණයට පත්ව ඇති මෙම පුද්ගලයන් දෙදෙනාගේ විශේෂත්වය වන්නේ ඔවුන්ට චීනයේ හෝ වෛරසය ව්‍යාප්තව තිබූ වෙනත් ප්‍රදේශයක සංචාරය කළ බවට තොරතුරු වාර්තා වී නොතිබීමයි. ‘ප්‍රජා ව්‍යාප්තිය’ තුළින් ඔවුන් දෙදෙනාට වෛරසය වැලඳී ඇතැයි අනුමාන කරන බව ප්‍රදේශයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිනී සාරා කෝඩ් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට ප්‍රකාශ කර ඇත.
ඇය පවසන්නේ මෙම තත්ත්වය සැලකිල්ලට ගැනීමේදී ජනවාරි මැද භාගයේ සිටම කැලිෆෝනියා ප්‍රාන්තයේ කොවිඩ් – 19 ව්‍යාප්තව එහි ප්‍රජා ව්‍යාප්තියක්ද පැවැති බවට කරුණු තහවුරු වන බව ඇය වැඩිදුරටත් සඳහන් කර තිබේ.
මෙම පුද්ගලයන් දෙදෙනාගේ මරණවලට හේතුව තහවුරු කරගැනීමට හැකිව ඇත්තේ එම මරණ පරීක්ෂණ සිදුකළ හදිසි මරණ පරීක්ෂකවරයා විසින් එම දේහයන්ගේ සාම්පල (කොටස්) 57 ක් රැස්කර එක්සත් ජනපදයේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානය වෙත යොමුකර තිබීම හේතුවෙනි.
