රථවාහන තදබදයට විසඳුමක් ලෙස වැල්ලවත්ත සිට බත්තරමුල්ල දියත උයන දක්වා මගී ප්‍රවාහන බෝට්ටු සේවාවක් මෙම 11 වැනිදා සිට ආරම්භ කෙරේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් මත ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් නාවික හමුදාවේද දායකත්වය ඇතුව මෙම බෝට්ටු සේවාව පවත්වාගෙන යනු ලබයි.
වැල්ලවත්ත ශාන්ත පීතර විද්‍යාලය අසලින් (සැවෝයි සිනමා ශාලාව ඉදිරිපිට) ආරම්භ කෙරෙන බෝට්ටු සේවාව බත්තරමුල්ල දියත උද්‍යානය අසලට සහ යළි එහි සිට වැල්ලවත්ත දක්වා පෙරවරු 6.00 සිට පස්වරු 6.00 දක්වා ක්‍රියාත්මක කෙරේ.
මේ සඳහා මගීන් 18 බැගින් ගමන් කළ හැකි බෝට්ටු දෙකක් සහ මගීන් අටදෙනෙකු බැගින් ගමන් කළ හැකි බෝට්ටු දෙකක් යොදවා ඇතැයිද මාසයක් තුළ බෝට්ටු සංඛ්‍යාව වැඩි කරන බවද ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් එම්.ආර්.ඩබ්ලිව්.ජී. සොයිසා ප්‍රකාශ කළේය.
විනාඩි තිහකට වරක් බෝට්ටුවක් ගමන් අරඹන අතර ගමන් මග කිලෝමීටර් දහයක් බවද හෙතෙම කීවේය.
මෙම බෝට්ටුවල ගමන් ගන්නා මගීන්ට උපරිම ආරක්ෂාව සලසන බවද සේවය සඳහා නාවික හමුදාවේ විශ්‍රාමික සෙබළුන් යොදවන බවද සභාපතිවරයා කීවේය.
බත්තරමුල්ල නගරය පරිපාලන නගරයක් නිසා බොහෝ පිරිස් දිනපතා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණෙන බවද කී සභාපතිවරයා මෙම බෝට්ටු සේවාව මගින් ඉතා ඉක්මනින් එම ස්ථාන වෙත ළඟාවීමට අවස්ථාව උදාවන බවද කීවේය.
වැල්ලවත්ත සිට බත්තරමුල්ලට සහ බත්තරමුල්ල සිට වැල්ලවත්ත දක්වා එක් මගියකුගෙන් රුපියල් හැට බැගින් අය කරන බවද සභාපතිවරයා කීය.
