මිනිසාගෙන් මතු වන සංසාරික වැරදි ගති පුරුදු ගුරූපදේශ වලින් මවුපිය වැඩිහිටි අවවාදවලින් කල්‍යාණ මිත්‍ර සේවනයෙන් මග හරවා ගත හැකිය. ගති පුරුදු වෙනස් වුණත් හුරුපුරුදු වෙනස් කිරීම අසීරුය. අරිහතුන් වහන්සේ මඟින් ද පරණ හුරු පුරුදු මතු වූ අවස්ථා ඇත.
සමහර මිනිස්සු තමන්ගේ වාසිය ලේසිය සඳහා කට්ට කපටි කෛරාටිකකම් කරති. එවැන්නෝ මරණින් පසුව ද අමනුස්ස දුගති ජාතිවල ඉපිද ඒ හුරු පුරුදු ක්‍රියාත්මක කරති.
සතර වරම් දෙවි රජ දරුවන්ට සේවය කළ සේවක සේවිකාවන් අතර ද මායාකාර, වංචාකාර, කපටි, කෛරාටිකයන් සිටි බවත් ඔවුන් වරම් රජවරුන් සමඟ බුදුන් දැක්මට පවා පැමිණි බවත් මහාසමය සූත්‍රයේ 25 වැනි සූත්‍ර පාඨයෙන් කියැවේ.
අදත් රාජ්‍ය පාලකයින් සමඟ සමීපව සිටින උසස් යැයි කියා ගන්නා නිලතලබල හොබවන්නන් ගෙන් ද එවැනි සංසාරික බාල, ග්‍රාම්‍ය, තුච්ඡ ඕලාරික හුරු පුරුදු මතු වන අවස්ථා ද නැතුවා නොවේ.
අවිස්සාවේල්ලේ සරත් හතළිස් හැවිරිදි සිවිල් ඉංජිනේරුවරයෙකි. ඔහුගේ බිරිය තිස් පස් හැවිරිදි සූචි ගුරුවරියකි. ඔවුහු දෙදරු මවුපියෝය. හිටි හැටියේ සරත් ආහාර අරුචියෙන් පෙළෙන්නට විය. ශරීරය කෘශ වී අප්‍රාණික විය. කිසි දිනක මත්පැන් පානය නොකළ ඔහු දැන් දිනකට අරක්කු බෝතලයක් පානය කරයි.
නිවසේ අසාමාන්‍ය සද්ද බද්ද ඇහෙන්නට විය. දුර්ගන්ධය පැතිරෙන්නට විය. නිවසේ පැවති සොඳුරු බව පලා ගොස් අඳුරට පත්ව ඇත. වෛද්‍ය ප්‍රතිකාර කළත් සරත්ට සුවයක් නොවීය. වත් පිළිවෙත්වලින් ද සහනයක් නොවීය.
සරත්ගේ මව ඉතාම දැහැමි, දාන සීල භාවනාවල යෙදුණු අහිංසක කාන්තාවක් බවත් මීට මාස තුනකට පමණ පෙර ඇය මිය ගිය බවත් එදා සිට සරත් මෙසේ විකෘති වූ බවත් විස්තර කළාය. අම්මා වෙනුවෙන් බොහෝ පින්කම් කළ බවත් බැරිම තැන ඇදුරන් ලවා ඇගේ භූතාත්මය ඉවත් කළත් කිසිදු සහනයක් නොවූ බවද කීවාය. මේ වන විට සරත්ගේ රැකියාව පවා අහිමිව ඇත.
රෝග පරීක්ෂාවේදී සරත් පැද්දෙන්නට විය. ඔහුට අමනුෂ්‍ය බලපෑමක් ඇති බවට නිගමනය කළ ගවේෂකවරයා දින විසි එකක් ගමේ පන්සලේ දී බෝධි පූජා පවත්වා නැවත එන ලෙස නියම කළ අතර දිනපතා මත්පැනට ඇබ්බැහිවීම එක්වරම නතර නොකරන ලෙස ද උපදෙස් දුන්නේය.
පවුලේ අය බෝධි පූජාවට ගියත් සරත් ගියේ නැත. එසේ සති දෙකක් බෝධි පූජා පවත්වන විට සරත් සතියේ දින හතෙන් හතරක් මත්පැනින් වැළකී සිටියේය. ඒ දිනවල බෝධි පූජාවට ගියේය.
බෝධි පූජා අවසන් කොට නැවත පැමිණි දිනයේ සරත් ගේ ශරීරයෙන් භූතාත්මයක් ආවිෂ්ට විය. ගෙව්ෂකවරයා ප්‍රශ්න කළේය.
“කවුද මේ ශරීරයට ඇතුල්වෙලා ඉන්නේ?” යි ඇසීය.
“මෙයාගේ අම්මා.” ප්‍රේතිය උත්තර දුන්නේය.
“මොකක්ද නම?”
“ම්…. ම්… කරුණාවතී”
“ඇයි මේ සරත් බීමට ඇබ්බැහි වුණේ?”
“මම මැරෙන වෙලාවේ අරක්කු බොන්න ආසාවක් ඇති වුණා. ඒකයි.”
“හැබෑද?”
“ඔව්! ඔව්!!”
ගවේෂකවරයා වේවැළ අතට ගත්තේය. “ෂටාස්… පටාස්”
“ඇත්ත කියාපිය. බොරු නේද කියන්නේ?”
“අනේ ගහන්න එපා. ගහන්න එපා. ඇත්ත කියන්නම්.”
“එහෙම නම් කියාපන් කවුද?”
“මම සිල්වා”
“උඹ කොහේද හිටියේ?”
“කොළඹ. ඇමතිතුමා ළඟ”
“මොනවද කළේ?”
“ඇමතිතුමා ළඟ වැඩ කළා. ඇමතිතුමාගේ වැරදි රහස්වැඩ වලට උදව් කළා.”
“උඹ ප්‍රේතයෙක් වුණේ මොකද?”
“අල්ලස් ගත්තා. වැඩිපුරම හම්බ වුණේ අරක්කු.”
“ඔය කොයි කාලෙද?”
“අවුරුදු විසි පහකට විතර කලින්.”
“උඹ මොනවා වෙලාද මැරුණේ?”
“බීලම තමයි, වකුගඩු නරක් වෙලා.”
“මැරිලා උපන්නේ කොහේද?”
“කනත්තෙ සොහොන ළඟ.”
“ඇයි ගෙදර නොගියෙ?”
“ගෙදර යන්න හිතුණේ නෑ. මගේ ගෑනි වෙන මිනිහෙක් එක්ක යාළු වෙලා.”
“ඇයි කනත්තෙම නතර වුණේ?”
“මෙතැනට හැන්දෑවට මිනිස්සු අරක්කු ගෙනත් බොනවා. මම උන්ගේ අරක්කු බිබී හිටියා.”
“සරත්ගේ ඇඟට රිංගුවේ කොහොමද?”
“සරත්ගේ අම්මා භූමදාන කළෙත් කොළඹ කනත්තෙ. සරත් අම්මට හරිම ආදරෙයි. එදා සරත් ඉතාම දුකෙන් දරාගන්න බැරිව හඬා වැටුණා. මිනීපෙට්ටිය වළට දමද්දි සරත්ට සිහිය නැතුව ගියා. අන්න ඒ දුර්වල අවස්ථාවෙ මම සරත්ගෙ ශරීරයට රිංගා ගත්තා. ඊට පස්සෙ අම්මා විදිහට රඟපෑවා. කට්‍ටඩි ඇවිත් බොරු කරලා රවටලා මේ නෝනගෙන් සල්ලි කඩාගෙන ගියා. මම මේ ශරීරයෙ මගේ වාහනය කරගෙන ජීවත් වුණා.” බේබදු ප්‍රේතයා කීවේය.
“උඹ මේ අයට කරදර කළා හොඳටෝම ඇති. දැන් ඉතින් මේ ශරීරය අතහැර පිට වෙලා යන්න සූදානම් වෙයන්.”
“බැහැ…. බැහැ…. මම යන්නෙ නැහැ. මට යන්න වෙන තැනකුත් නෑ. මේ වගේ මගේ හිතේ හැටියට අරක්කු බොන්න කෙනෙක් මම කොහොමද හොයා ගන්නේ. ඒ නිසා මම මෙයා අත හැර යන්නෙත් නෑ. යන්න කියන්නත් එපා.” ප්‍රේතයා තදින් ම කීවේය.
ගවේෂකවරයා ශක්ති කිරණ එල්ල කොට ප්‍රේතයා දවාලන්නට විය. දුර්වල වන තුරු දවාලීය. ඊට අමතරව සරත්ගේ චක්‍ර පද්ධතිය ශුද්ධ කළේය. නිවස පිරිසුදු කොට උදේ හවස බෞද්ධ වත් පිළිවෙත් ඉටුකොට සජ්ඣායනා කරන්නට සූත්‍ර කීපයක් නියම කළේය.
නිවසේ පිළිවෙත් කොට සතියකින් ඔවුහු නැවත පැමිණියහ. ඒ වන විට සරත් සම්පූර්ණයෙන් මත්පැනින් වැළකී සිටි අතර හොඳින් ආහාරපාන ගනිමින් ප්‍රසන්න තත්ත්වයකට පත්ව සිටියේය.
එදින ද බේබදු භූතාත්මය දිෂ්ටි ගන්වා තවදුරටත් පුළුස්සා වැටකෙයියා මලකට සම්බන්ධ කොට කනත්තට ම ගෙන ගොස් දමන්නැයි ඔවුන්ට දුන්නේය. පවුලේ සියලු දෙනාටත් නිවසටත් ආධ්‍යාත්මීය ආරක්ෂා යොදා දුන්නේය.
සමාජ විරෝධී වැඩ කරන දූෂිතයන්ගෙන් රටටත් ජාතියටත් හානියක් පාඩුවක් ම වෙයි. උන් මළ පසුව ඒ ගති පුරුදු ක්‍රියාත්මකවීම නිසා මිනිසුන්ට හිරිහැර කරදර කරති. ආධ්‍යාත්මීය වශයෙන් ශක්තිමත්ව ඒ ආත්ම ශක්තියෙන් තමන්ගේ ආරක්ෂාව කැර ගැනීමට ආගම දහම උපයෝගී කැර ගත හැකිය. නිලය බලය යොදා අසීමිත තෘෂ්ණාවෙන් වැරදි කරන්නන්ට තරාතිරම නොබලා හේතු ඵල දහමට අනුව දඬුවම් ලැබේ.
සිළුමිණ.
