ඔවුන් ඇසිඩ්වලින් පුලුස්සා දැමුවේ මගේ මුහුණ පමණය. මගේ සිහින පිළිස්සීමට ඇසිඩ්වලට නොහැකිය.
එක්තරා ආකාරයට ඇසිඩ් ප්‍රහාරයක්, ඝාතනයකට සමානය. ඝාතනයකදී ඝාතකයා මිනිසකුගේ සිරුර මරා දමන අතර ඇසිඩ් ප්‍රහාරයකදී ප්‍රහාරකයා වින්දිතයාගේ ආත්මය මරා දමයි. ප්‍රහාරයට ලක්වන්නාගේ සුන්දරත්වය මරා දමනවා පමණක් නොව, ඇයගේ සිහින, ඇයගේ සතුට, සාමාන්‍ය ජීවිතයකට ඇති අවස්ථාව සහ ඇයගේ අරමුණු සියල්ල මරා දමයි.
ලෝකයේ බොහෝ තැන්වල කාන්තාව යනු ගොදුරකි. නමුත් අපූර්වතම කාරණය නම්, ඇය ඒ සියලු ඛේදාන්තයන් දරා ගනිමින් නැවත පෙර සිටියාටත් වඩා සුන්දරව නැඟී සිටීමට හැකියාව ඇති අයකු වීමය. එය කාන්තාවකට ආවේණික වූ ස්වභාවික ශක්තියකි.
ලක්ෂ්මි අගර්වාල් යනු එවැනි ගැහැනියකි. තරුණ වියේදීම තම ජීවිතයේ සුන්දරත්වය සම්පූර්ණයෙන් පිලිස්සී ගියමුත් නැවත නැඟී සිටිමින් අලුතෙන් පියාපත් තනාගෙන පියාසර කළ ධෛර්යවන්ත ගැහැනියකි.
එපමණක් නොව, ඇය ලෝකයාගේ ගොදුරු බවට පත්වී සිටින කාන්තාවන්ගේ සිත්වලට නැවත නැඟී සිටීමට හේතුවන අලුත් බලාපොරොත්තුවකි.
ලක්ෂ්මි අගර්වාල් ඉපදී හැදී වැඩුනේ ඉන්දියාවේ නවදිල්ලියේය. ඇය ගායිකාවක් වීමට සිහින දුටුවාය.
කුඩා කල සිටම සංගීතයට ඇලුම් කළ ඇයගේ ලෝකය පිරී පැවතියේ විශාල සිහිනවලිනි. ඇයගේ සුන්දර ලෝකය කණපිට පෙරළෙන්නේ අවුරුදු 32ක් වයසැති නදීම් ඛාන් නමැති පුද්ගලයා අවුරුදු 15ක් වූ ලක්ෂ්මීට විවාහ යෝජනා ගෙනඒමට පටන් ගත් දිනයේ සිටය.
දිගින් දිගටම ඇය පසුපස විත් යෝජනා ගෙන එන ඔහුව ලක්ෂ්මි ප්‍රතික්ෂේප කළාය.
පළිගැනීමේ රතු එළිය ලක්ෂ්මිගේ ජීවිතයට වැටෙන්නේ එතැන්සිටය. නදීම් ඛාන් තවත් සගයන් දෙදෙනකු සමඟ පැමිණ, දකුණු දිල්ලියේ සුප්‍රසිද්ධ ඛාන් වෙළෙඳපොළේ බස් නැවතුම්පළක රැඳී සිටි සිටි ලක්ෂ්මීගේ මුහුණට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කළේය.
“ඔහු වෙනස් කළේ මගේ මුහුණ පමණය. මගේ සිත නොවේ”
-ලක්ෂ්මි අගර්වාල්
ලක්ෂ්මිගේ ජීවිතයේ දැවැන්ත පරිවර්තනය ඇය ඇසිඩ් ප්‍රහාරයට ලක් වූ මොහොතේ සිට ආරම්භ විය.
නැවත සුවවීමේ මාවත ශාරීරික සහ මානසික වේදනා සහිත අභියෝගවලින් පිරී තිබුණි.
සැත්කම් හතකට භාජනය වූ ඇය ඉන් පහක් නවදිල්ලියේ ඇපලෝ රෝහලේ සහ දෙකක් වෛද්‍ය රාම් මනෝහර් ලෝහියා රෝහලේදී සිදුකර ඇත.
“ගෙවුණු සෑම මොහොතක්ම වේදනාකාරීය.”
ලක්ෂ්මි තමා මුහුණ දුන් සැත්කම් පිළිබඳ පවසන්නේ එලෙසය. ලක්ෂ්මිගේ කලවා සහ පිටුපසින් ගත් සම ඇගේ මුහුණට භාවිත විය.
සැත්කම්වල සියලුම වියදම් තනිවම දැරූ ලක්ෂ්මීගේ පවුලට රජය කිසිදු මූල්‍ය ආධාරයක් ලබා දුන්නේ නැත.
“ප්‍රහාරකයෙක් පළිගැනීම සඳහා පහර දෙන්නේ එක වරක් පමණි. නමුත් සමාජය නැවත නැවත ඔබට පහර දෙනවා…,මිනිස්සු මගේ දිහා බලලා ඇයට වස ටිකක් දී මරලා දැම්මා නම් හොඳයි කියා මගේ මවුපියන්ට පවසනවා.”
ලක්ෂ්මි සුව වෙමින් සිටින කාලයේදී සමාජයෙන් ලද පීඩන පිළිබඳව පවසන්නේ එලෙසය.
වසර තුනක් තිස්සේ ලක්ෂ්මි නිවසේ නැවතී සිට නිවසින් පිටවී යෑම ප්‍රතික්ෂේප කළාය. නමුත් තමා සමඟම යුද වැද, එළිමහනට පැමිණ නැවත ජීවිතය ආරම්භ කිරීමට තරම් ධෛර්යයක් ඇය එක්‍රැස් කර ගත්තාය.
ඇසිඩ් ප්‍රහාරයට පෙර තිබූ ජීවිතය ඇසිඩ් ප්‍රහාරයත් සමඟ මියගියාය.
ඉන් පසු ඇයට එය අලුත් ජීවිත ගමනක් විය. නමුත් ඇගේ පිළිස්සුම් කැළැල් සහිත මුහුණ සමඟ එම ගමන පහසු වූයේ නැත. තම පියාගේ හදිසි අභාවයත් සමඟ සිය පවුල නඩත්තු කිරීම වෙනුවෙන් රැකියා සඳහා ඉල්ලුම් කළද ඇයට කිසිදු තැනකින් රැකියාවක් ලැබුණේ නැත. ඔවුන් ඇයව ප්‍රතික්ෂේප කළේ, “ඔබව දුටුවහොත් මිනිසුන් බිය වනු ඇත” යැයි පැවසීමෙනි.
ලක්ෂ්මීගේ ජීවිතය තිබුණේ සාමාන්‍යය තත්ත්වයකට වඩා බෙහෙවින් දුරස්වය. තමාගේ මුහුණ අනන්‍යතාවය එක මොහොතකින් පිළිස්සී ගිය වේදනාවේ කැළැල් සමඟ ඇයට ඇය සමඟම පමණක් නොව, මුළුමහත් සමාජය සමඟම සටන් කරන්නට සිදුවිය. ජීවිතයේ සුපුරුදු සිනහව නුපුරුදු දෙයක් බවට පත්වීමේ බර දරාගත් ඇය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දක්ෂ සටන්කාරියකි. ඇය සටන් කළාය. තමා සමඟත් සමාජය සමඟත් ඇය නොනවත්වා සටන් කළාය. මුහුණේ කැළැල්වලට ඇය සිය ආත්මය මරා දැමීමට ඉඩ නොදුන්නාය. ඒ වෙනුවට ඇයගේ ආත්මය නැවත මල් දැරුවාය.
ඇසිඩ් ප්‍රහාරකයන්ට මරණ දඬුවම දීමෙන් සෑහිමකට පත්විය නොහැකි බව සිතූ ඇය, ඒ වෙනුවට සමාජ මානසිකත්වය වෙනස් කිරීම වෙනුවෙන් සටන් වැදුණාය. ඇසිඩ් ප්‍රහාරවලට එරෙහිව ඇගේ සටන ආරම්භ වෙන්නේ 2006දීය. මහජනතාව අතර සිතූමතයට අම්ල බෙදා හැරීම තහනම් කරන ලෙස ඉල්ලමින් අධිකරණයට බල කරමින් 27,000කට අධික පිරිසකගේ අත්සන් ලබා ගත් පෙත්සමක් අධිකරණයට ඉදිරිපත් කළාය.
එපණක් නොව, ඇය ඇසිඩ් ප්‍රහාරවලට ලක්වූ කාන්තාවන්ගේ සෞඛ්‍යය තත්ත්වය සහ මානසික තත්ත්වය යහපත් අතට හැරවීම සඳහා ඔවුන්ව සොයා යමින් ධෛර්යය සැපයූවාය. ඇය ඇසිඩ් ප්‍රහාරවලට ගොදුරු වූවන්ට උපකාර කරන රාජ්‍යය නොවන පදනමක අධ්‍යක්ෂවරියක්ද වෙයි. 2014 මාර්තු මාසයේදී එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ආර්‍යාව වන මිෂෙල් ඔබාමා විසින් ලක්ෂ්මිට “ජ්‍යාත්‍යන්තර ධෛර්යය සම්පන්න කාන්තා සම්මානය” ප්‍රදානය කරන ලදි.
“ඔවුන් ඇසිඩ්වලින් පුළුස්සා දැමුවේ මගේ මුහුණ පමණය. මගේ සිහින පිළිස්සීමට ඇසිඩ්වලට නොහැකිය.
මෙම නිර්භීත ධෛර්යය සම්පන්න කාන්තාව ගර්භණී සමයේදී තම දරුවා තමාගේ විකෘති වූ මුහුණට කුමන ප්‍රතිචාරයක් දක්වාවිද යන කාරණයට පමණක් බිය වූවාය. කුමක් වුවත් නූතන ලෝකයේ සෑම කාන්තාවක් මෙන්ම ඇයද ජීවත්ව සිටින සුන්දරම කාන්තාවක් වන්නේ ඇයගේ මුහුණ නිසා නොව, ඇගේ ආත්මය නිසාය.
ජීවිතය අතරමඟ බිඳී ගිය අයට බලාපොරොත්තුවක් දීමට ඇති අසාමාන්‍ය ධෛර්යය නිසාය.
“මම සෑම විටම මගේ ජීවිතය ගැන විවෘතව සිටිමි. මගේ ගමනේදී බොහෝ දෙනෙක් ඉදිරියෙන් ගමන් කරන නමුත් පිටුපසින් එන බොහෝ දුක්විඳින අය මම දැක ඇත්තෙමි. ඔබ පිටතට පැමිණ ඒ මිනිසුන් වෙනුවෙන් කතා කළ යුතුය. ලක්ෂ්මි යනු විවෘත පොතක්..” ඇය නිරන්තරයෙන් එසේ පවසන්නීය.
උපුටා ගැනීම – රැස පුවත්පත
