සුපිරි නළුවෙකු සහ නිරායුධ සටන් ක්‍රම සම්බන්ධ සුපිරි තරුවක් වූ බෲස් ලී ගේ ඡායාරූපයක් යොදාගැනීම සම්බන්ධයෙන් ඔහුගේ දියණියට අයත් සමාගමක් විසින් චීන ක්ෂණික ආහාර සමාගම් ජාලයකට එරෙහිව නඩු පවරා තිබෙනවා.
රියල් කුන්ග්ෆූ (Real Kungfu) සමාගම, සිය සමාගමේ අවසරයකින් තොරව බෲස් ලී ගේ ඡායාරූපයක් යොදාගෙන ඇති බවට බෲස් ලී එන්ටර්ප්‍රයිසස් (Bruce Lee Enterprises) සමාගම චෝදනා කරනවා.
බෲස් ලී එන්ටර්ප්‍රයිසස්, බෲස් ලී ගේ දියණිය ශැනන් ලීට (Shannon Lee) අයත් සමාගමකි.
රියල් කුන්ග්ෆූ සමාගම වහාම එම ඡායාරූපය ඉවත් කළ යුතු බව පවසන බෲස් ලී එන්ටර්ප්‍රයිසස් සමාගම, සිදුකළ වරද සඳහා ඩොලර් මිලියන තිහක වන්දියක් ඉල්ලා සිටින බව ද වාර්තා වේ.
එහෙත් රියල් කුන්ග්ෆූ සමාගම පවසන්නේ, එම රූපය යොදාගැනීමට චීන බලධාරීන් විසින් අනුමැතිය ලබා දුන් බවය.
නිරායුධ සටන් ඉරියවුවෙන් සිටින කළු හිස කෙස් සහිත පුද්ගලයෙකුගේ ඡායාරූපයක් එම සමාගමේ නාම පුවරුවේ දැක්වේ.
රියල් කුන්ග්ෆූ සමාගම පවසන්නේ, වෙළඳ නාම සම්බන්ධ චීන ආයතනයේ අනුමැතිය ලැබීමෙන් අනතුරුව, තමන් වසර 15 ක් මුළුල්ලේ අදාළ ඡායාරූපය භාවිත කරමින් සිටින බවය.
එතරම් කාලයක් එය භාවිතා කිරීමෙන් අනතුරුව හදිසියේම මෙවැනි නඩුවක් පැවරුනේ මන්දැයි තමන් විශ්මයට පත්ව සිටින බව පවසන එම සමාගම, චෝදනාවට ප්‍රතිචාර දක්වන්නේ කෙසේ දැයි අධ්‍යයනය කරමින් සිටින බවත් සඳහන් කරයි.
1990 දී පිහිටුවන ලද රියල් කුන්ග්ෆූ, මේ වනවිට චීනය පුරා ශාඛා 600 ක් පවත්වාගෙන යන සමාගමකි.
බෲස් ලී එන්ටර්ප්‍රයිසස්, කුන්ග්ෆූ තරුවක් වන බෲස් ලී ගේ ඡායාරූවල අයිතිය සම්බන්ධයෙන් ක්‍රියාකරන සමාගමය.
ඉහත කී නඩුව සම්බන්ධයෙන් වැඩිදුර විස්තර ලබා ගැනීම පිණිස බීබීසිය බෲස් ලී එන්ටර්ප්‍රයිසස් සමාගම ඇමතුව ද ඉක්මන් ප්‍රතිචාරයක් නොලැබිණි.
BBC.
