තම දෙහැවිරිදි පුතු ඇකයේ රඳවාගෙන මහ මඟ ගමන් කරමින් සිටි මවක ඇතුළු සිවුදෙනකු අනුරාධපුර, ගල්කුලම, ගල්වාඩුවාගම ප්‍රදේශයේදී හැල්මේ ආ මෝටර් රථයක ගැටී අනතුරකට ලක්වූයේ ඉකුත් සඳුදා (23 දා) පෙරවරුවේය. ඒ බිහිසුණු අනතුරින් මවු ඇකයේ සිටි කුඩා දරුවා මරුමුවට පත් වී අනෙක් තිදෙනාම බරපතළ තුවාල ලබා රෝහල්ගත කරනු ලැබීය.
සිය පුතු මළ බැව් නොදත් මව බරපතළ තුවාල ලබා මේ වනවිට සිටිනුයේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමිනි. දරුවාගේ මිත්තනිය සහ ඒ අනතුරට ලක්වූ අනෙක් තුවාලකාරිය වන ඥති දියණියක අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබ සිටිති. සිඟිති දරුවකුට අකල් මරණයත් ඒ පුතුගේ මව ඇතුළු සෙසු තිදෙනාට බරපතළ තුවාල සිදුවූයේ නොහික්මුණු රියෑදුරකුගේ වරදින් බවට කිසිදු විවාදයක් නැත. වෙනත් වාහනයක නැඟී ගොස් නොව මහ මඟ පයින් ගමන් කිරීමටවත් තරම් අනතුරු අවදානමක් පැවැතීම යනු ඉතාමත්ම කනගාටුදායක තත්ත්වයකි.
කුලප්පු වූ කුළු මීහරකෙකු ලෙස රිය ධාවනය කර මේ අනතුර සිදු කර තිබෙන බව ඉතා පැහැදිලිය. හය හතර නොදන්නා අත දරුවා මෙලොව හැර ගියේ ඒ මදාවි රියෑදුරාගේ වරදින් බවට අමුතු සාක්කි ද උවමනා නැත. ඔහු වරදකරු කළ යුත්තේ අනියම් මිනී මැරුමකටය. තිරප්පනේ පොලිසිය මාරක රිය අනතුර සිදුකළ රියෑදුරා සහ ඔහු විසින් පදවාගෙන ගිය මෝටර් රථය අත්අඩංගුවට ගෙන තිබිණි. ඒ ප්‍රදේශයේම රෝහලක සේවය කරන පුද්ගලයකු බවත් හෙළි වී ඇතැයි විමර්ශන සිදුකළ පොලිස් නිලධාරීහු සඳහන් කළහ.
තරාතිරම කුමක් වුව ද මහ මඟ ගමන් පයින් යන කෙනෙකුටවත් උපද්‍රවයකින් තොරව ගමන අවසන් කිරීමට නොදී රෝහලෙන් හෝ මරණයෙන් කෙළවර වන්නට වීම අප සිත් කම්පනයට පත් වන කාරණයෙකි. එමෙන්ම සමස්ත රියෑදුරු ප්රජාවමට මේ නොහික්මුණු මදාවි රියෑදුරාගේ ක්‍රියාකලාපය අවමානයක් බැව් අමුතුවෙන් කිව යුතු නැත. එහෙයින් මොවුනට නිසි දඬුවම් උපරිම ලෙස ලබාදීම හැර සමාජ යහපත උදෙසා අන් කිසිවක් නොවන බවයි මහජන මතය වනුයේ.
උපුටාගැනිම – දිවයින
