රූමත් තරුණියක් යැයි කී විට බොහෝ දෙනකුගේ සිහියට නැඟෙන්නේ සමෙහි පැහැය සුදු වර්ණයට හුරු දිගු වරලසකින් යුතු තරුණියකි.
විශේෂයෙන්ම වත්මන් සමාජයේ බොහෝ දෙනා රූමත් බව නිර්ණය කිරීමේ මූලික සාධකයක් ලෙස සුදු පැහැය සලකන්නට පුරුදුව සිටිති.
සම සුදු කර ගැනීමට විවිධ ආලේපන, එන්නත් මෙන්ම සැත්කම් පවා සිදුකර ගන්නා තරුණියන් ගැන වැඩිපුර අසන්නට දකින්නට ලැබෙන්නේද ඒ නිසාය.
නමුත් මෙවර විශ්ව රූ රැජින තරගයේදී ඒ සියල්ල කණපිට හරවා අඳුරු පැහැ සමකින් සහ කෙටි කේෂකලාපයකින් යුත් දකුණු අප්‍රිකාවේ නැඟෙනහිර කේප් හි සොසිබිනි ටුන්සි නම් තරුණිය සමත් වූවාය.
පිලිස්වා නඩාපු සහ ලුන්ගිසා ටුන්සි යන දෙමාපිය දෙපළට දාව 1993 වසරේ සැප්තැම්බර් මස 18 වැනි දින ඇය උපත ලැබුවේ දියණියන්ම තිදෙනෙක් සහිත පවුලකය.
මනා අධ්‍යාපනයක් ලැබූ ඇය 2018 වසරේ මහජන සම්බන්ධතා පිළිබඳව උපාධියක් ලබාගෙන තිබුණු අතර ඇය දකුණු අප්‍රිකානු රූ රැජින කිරුළ ලබා ගන්නා අවස්ථාව වන විට මහජන සම්බන්ධතා කළමනාකරණය පිළිබඳව තාක්ෂණවේදී උපාධිය සම්පූර්ණ කරමින් කේප් ටවුන්හි ඔගිල්වි වෙළෙඳ ප්‍රචාරණ ආයතනයේ සීමාවාසික තනතුරක් හොබවමින් සිට ඇත.
2017 වසරේදී ඇය දකුණු අප්‍රිකානු රූ රැජින තරගයට සහභාගී වී අවසන් 26 දෙනා අතරට එක් වූ අතර එය එම වසරේ ඇගේ සිහිනයේ නිමාව සටහන් කළේය. එහෙත් එතෙකින් නොනැවතුණු ඇය 2019 වසරේදී නැවත එම තරගයටම සහභාගි වී අවසන් 35 දෙනා අතරට පැමිණියාය.
ඉන් නොනැවතී ඇය අවසන් 16 දෙනා අතරටද පැමිණියාය. ඉන්පසු පිටෝරියාහි පැවති අවසන් මහා තරගයේදී ඇය එම තරගයේ ජයග්‍රාහිකාව බවට පත්වූවාය. එම ජයග්‍රහණය ඇයට විශ්ව රූ රැජින දක්වා යෑමට මාවත විවෘත කිරීමක් බඳු විය.
ටුන්සි 2019 නොවැම්බරයේ මිස් යුනිවර්ස් 2019 තරගය සඳහා ජෝර්ජියාවේ ඇට්ලන්ටා වෙත පැමිණියේ බලාපොරොත්තුවලින් හදවත පුරවාගෙනය. දෙසැම්බර් 6 වැනි දින ඇය එහි මූලික තරගයට සහභාගී වූ අතර දෙසැම්බර් 8 වැනි දින ටයිලර් පෙරී චිත්‍රාගාරයේදී පැවති අවසන් තරගයට සහභාගී වූවාය.
තරගය අතරතුර ටුන්සි අප්‍රිකාව / ආසියා-පැසිෆික් මහාද්වීපික කලාපය සඳහා වූ පළමු අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවාය. ඉන් අනතුරුව ඇය පළමු දස දෙනා අතරටත් පසුව පළමු පස් දෙනා අතරටත් පැමිණියාය. ඉන් නොනැවතී අවසන් තිදෙනා අතරටද පැමිණි ටුන්සි 2019 විශ්ව රූ රැජින ලෙස කිරුළ හිමිකර ගත්තේ පිලිපීනයේ කැට්රියෝනා ග්‍රේ ගෙනි.
මෙම තරගයේ අනුශූරතාව පුවර්ටෝ රිකෝ හි මැඩිසන් ඇන්ඩර්සන් සහ සහ තෙවැනි ස්ථානය මෙක්සිකෝවේ සොෆියා අරගන් විසින් හිමි කරගත්හ.
ටුන්සිගේ ජයග්‍රහණය විශේෂ වන්නේ ඇය දකුණු අප්‍රිකාවෙන් කිරුළු පැලඳි තුන්වැනි විශ්ව රූ රැජින වන නිසාය. ලීලා ලෝප්ස් 2011 විශ්ව රූ රැජින ලෙස කිරුළු පැලඳීමෙන් පසු අප්‍රිකානු කළු සමකින් සහ කෙටි කොණ්ඩයකින් යුත් සොසිබිනි ටුන්සි මෙවර විශ්ව රූ රැජින ලෙස කිරුළු පැලඳියේ බහුතර යුවතියන් සහ කාන්තාවන් රූමත් බවේ නිර්ණායක ලෙස සකසාගෙන තිබූ සෑම නිර්ණායකයකටම පිටින්‍ය. විශේෂයෙන් රූමත් බව යනු සමේ සුදු පැහැය යැයි සිතාගෙන සිටින යුවතියන්ට ටුන්සිගේ ජයග්‍රහණය සියුම් සරදමක් වැනිය.
ඔබත් සමේ වර්ණය ගැන හෝ කෙටි හිසකෙස් ගැන තැවෙන අයකු නම් සුන්දරත්වය ගැන වෙනස් විදිහකට සිතන්නට ටුන්සිගේ ජයග්‍රහණය ඔබට මඟපෙන්වනු ඇත.
