Gossip

‘යූ ටර්න්’ සිනමා සිත්තමෙන් කරළියට ආ ගම්‍යා විජේදාස කියන්නේ කවුද..? – Photos

ඇය ශ්‍රී ලංකා රූ රැජනක්… කිරුළු පලන් යුවතියක්… එම කිරුළ ඇයට කලාවට පිවිසීමටත් ඉවහල් වෙනවා. ඇගේ ඒ රංගන කුසලතාව දැන් ප්‍රේක්ෂකයන්ට දැකගන්න අවස්ථාව ලැබෙනවා.
ඒ චන්න දේශප්‍රිය අධ්‍යක්ෂණය කළ “යූ ටර්න්” චිත්‍රපටය ඔස්සේ..

යූ ටර්න් චිත්‍රපටය ඔබේ සිනමා ජීවිතයේ පළමු අත්දැකීම ද ?
මේ මම ලංකාවේ වැඩ කරපු දෙවැනි චිත්‍රපටය. මගේ පළමුවැනි චිත්‍රපටය අරුණ ජයවර්ධන අධ්‍යක්ෂණය කරපු 1970 කියන චිත්‍රපටය. එය තවම ප්‍රදර්ශනය වුණේ නැහැ. මීට අමතරව මම ඉන්දියානු චිත්‍රපට තුනකට සම්බන්ධ වුණා.

කොහොමද සිනමාවට සම්බන්ධ වෙන්නේ ?
2009 දි මිස් ශ්‍රී ලංකා තරගයට මා සහභාගී වී ජයග්‍රහණය කළා. අනතුරුව ලෝක රූ රැජන තරගයට සහභාගි වෙන්න ඉඩකඩ ලැබෙනවා.
ඒ අතරතුරයි ඉන්දියාවට යන්නේ. වසර හයක් පමණ එහේ සිනමා ක්ෂේත්‍රයේ කටයුතු කර ලංකාවට එන්නේ රූපවාහිනී රියලිටි වැඩ සටහනක නිවේදිකාවක විදිහට වැඩ කරන්නයි.
මෙම වැඩසටහනේ නිෂ්පාදකවරයා ලෙස කටයුතු කළේ අරුණ ජයවර්ධන. ඔහුගේ ආරාධනයෙන් තමයි ඔහු අධ්‍යක්ෂණය කළ 1970 චිත්‍රපටයට මුලින්ම මම දායක වෙන්නේ.

රංගනය පිළිබඳ කිසියම් හැදෑරීමක් අවශ්‍යයි කියලා හිතුණේ නැද්ද ?
අනිවාර්යයෙන්ම අවශ්‍යයි. මම ඉන්දියාවට ගිය අතරතුර සිනමා රංගනය පිළිබඳ හදාරන්න මුම්බායි නගරයේ creative character කියන සිනමා පාසලකට ඇතුළත් වුණා. එහිදි හින්දි හා උර්දු භාෂා, නර්තනය, සටන් කලාව, මෙන්ම රංග කලාව හැදෑරුවා.

ඔබ වෙනත් විදෙස් නිර්මාණ සඳහා දායක වෙලා තිබෙනවා ?
ඔස්ට්‍රේලියාවේ නිර්මාණ කිහිපයකම මට වැඩ කරන්න අවස්ථාව ලැබුණා. ඇතැම් නිර්මාණ වෙ‍ෙළඳ දැන්වීම්.
පහුගිය දිනෙකත් එවැනි නිර්මාණයකට සම්බන්ධ වුණා. ඉදිරියේදිත් හොඳ නිර්මාණ සඳහා ආරාධනාවක් ලැබුණොත් සම්බන්ධ වෙනවා.

මෝස්තර නිරූපණ ක්ෂේත්‍රය පිළිබඳ ඔබේ ඇල්ම?
මම කවදාවත් මෝස්තර නිරූපණ ශිල්පිනියක් විදිහට කටයුතු කර නැහැ.
මුලින්ම සම්බන්ධ වුණේ මිස් ශ්‍රී ලංකා තරගයට. ඒ වෙද්දි මම ශාස්ත්‍රවේදී උපාධිය සම්පූර්ණ කර තිබුණේ. දැන් පශ්චාත් උපාධිය හදාරනවා. මගේ පසුබිම වෘත්තීමය නිරූපණ ශිල්පිනියක් ලෙස කටයුතු කිරීම නොවෙයි.

සිනමාව පිළිබඳ කතා කළොත් වාණිජ සිනමාවේ ජනප්‍රියත්වයත් කලාත්මක සිනමාවේ පිළිගැනීමත් ඔබ දකින්නේ කොහොමද ?
ඒ වර්ගීකරණයට මා එතරම් කැමති නැහැ. රංගන ශිල්පිනියක් විදිහට නිර්මාණයයි මට වැදගත් වෙන්නේ. විවිධ පරාසයක චරිතයක් දිව යනවා නම් මා එයට වඩාත් කැමතියි.
කලාත්මක කෘතියක වූවත් වාණිජ වටිනාකමක් තිබෙනවා. ඒ නිර්මාණවලට මුල්‍යමය වටිනාකමක් ප්‍රතිලාභයක් ලැබිය යුතුයි. වඩාත් සාර්ථක නිර්මාණයකට එකතු වෙන්නයි මා කැමති. එය අභියෝගාත්මක චරිතයක් නම් වඩාත් හොඳයි.

යූ ටර්න් චිත්‍රපටයේ අමතක නොවන අවස්ථා අනන්තවත් ඇති ?
මම දැනට කළ අසීරුම රංගනය එයයි. ශාරීරිකව ගොඩක් වෙහෙසකර අත්දැකීමක්. චිත්‍රපටය තුළ වාහන අනතුරක් අපට රූගත කරන්න තිබුණා.
ඒ වගේම බොහෝ දර්ශන රාත්‍රියේ සිට උදෑසන වෙනකල් නිදිමරාගෙන රඟපාන්න සිද්ධ වුණා. වැස්සේ දර්ශනවලදී තෙමෙන්න සිදු වුණා. නිදිමත ඉවසගෙන පහුවදා නැවතත් රඟපාන්න සිද්ධ වුණා. රංගන ශිල්පිනියක් විදිහට එය ඉතා අසීරු අත්දැකීමක්.

කුඩා දියණියක සමඟයි ඔබ එහි රඟපාන්නේ ?
බිමල් ජයකොඩිගේ සහ මගේ දියණිය විදිහට මේ චිත්‍රපටයේ ඇය රඟපාන්නේ. මා තවමත් අවිවාහකයි. නමුත් මවක හා දියණියකගේ සම්බන්ධය විශ්වාසයෙන් යුතුව නිරූපණය කරන්න මෙහිදී උත්සුක වුණා. පුංචි දරුවෙක් වුණත් වෘත්තීය නිළියකගේ දක්ෂතාවක් ඇයට තිබුණා.
රඟපෑමට පමණක් නෙමෙයි. නිර්මාණ පසුතලය පිළිබඳ හොඳ අවබෝධයක් දරාගැනීමේ ශක්තියක් ඇයට තිබුණා. ඒ වගේම ඇයගේ මාපියන් ඉතාමත් අවබෝධයෙන් මේ කටයුත්තට උපරිම සහයෝගයක් දැක්වුවා.

කොහොමද ලැබෙන ප්‍රතිචාර?
චිත්‍රපටයට හොඳ ප්‍රතිචාර තියෙනවා. ඒ වගේම පෞද්ගලිකව මටත් ප්‍රතිචාර ලැබෙනවා. සිනමා පිළිබඳ විචාර ලියවෙනවා නම් මම කැමැතියි.
එතනදි හොඳ සහ නරක කියවගන්න ලැබෙනවා. රංගන ශිල්පිනියක් විදිහට ඉදිරියට යන්නත් මං හිතනවා එවැනි ප්‍රතිචාර වැදගත්.

ඔබ විදෙස්ගතව දීර්ඝ කාලයක් ජීවත් වූවත් ලාංකේය සිංහල භාෂාව ව්‍යක්තව හසුරන කෙනෙක් ?
ඇත්තටම මම ඔස්ට්‍රේලියාවට ජීවත් වෙන්න යන්නේ වයස අවුරුදු නවයේදී. ඒ වෙනකොටත් මා භාෂාව හා සාහිත්‍යය පිළිබඳ උනන්දුවක් තිබුණා.
මගේ තාත්තා සාහිත්‍යය හැදෑරූ ලේඛකයෙක් වන අසන්ත විජයදාස. මව ජයන්තා රණසූරිය. ඔවුන් ජීවත් වෙන්නේ ඔස්ට්‍රේලියාවේ.

මා කවදාවත් පොතපත කියවන එක අත්හැරියේ නැහැ. අවුරුදු 13 සිට වසර එකොළහක් එහි ගුවන් විදුලිය සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ප්‍රවෘත්ති සහ වැඩසටහන් ඉදිරිපත් කළා.
මගේ භාෂා හැකියාව දියුණු වෙන්න ඒ අත්දැකීම් ඉවහල් වෙන්න ඇති. අපේ මුල් අපිට මතක තියෙන්න ඕන. අපේ පවුල, අපේ රට, අපේ භාෂාව, අපේ ජාතිය, ඒ හැම දෙයක්ම මතක තියාගන්නවා වගේම එයට ආදරයත් කළ යුතුයි.

උපුටා ගැනීම – සිළුමිණ පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!