Gossip

ජීවිත කාලයටම මහපොළවේ දෙපය නොතැබූ කිලෝ 14ක් බර ආනන්දගේ කඳුළු කතාව

ජීවිතයට පාසල් නොගිය, කිසිදු භාෂාවක් ලියන්නට කියවන්නට බැරි, ජීවිත කාලයටම මහපොළවේ දෙපය නොතැබූ කිලෝ 14ක බරින් යුත්, උස අ`ගල් 30ක, බර හ`ඩින් කතා කරන තාක්ෂණය පිළිබඳ දැනුමෙන් පිරිපුන් අපූරු කාර්මික ශිල්පියකු පිළිබඳ ලද තොරතුරකට අනුව අපි ඔහු සොයා ගියෙමු.
හම්බන්තොට දිස්ත‍්‍රික්කයට අයත් සූරියවැව නගරයේ සිට මිරිජ්ජවිල හරහා මහා මාර්ගයේ ගමන් කරන විට බැද්දේවැව ගම්මානය හමුවේ.
ප‍්‍රධාන මාර්ගය අයිනේ කුඩා කඩ කාමර දෙක අප කතානායකවරයාගේ නිවසයි. අංක 4/98 නුගේකන්ද, බැද්දේවැව බටහිර, සූරියවැව එහි ලිපිනය වේ.
එම ලිපිනයේ පදිංචි ඔහු නමින් ලහදුපුරගේ ආනන්ද (අ.35* වෙයි. උසින් අඩි 2 1/2 වන ඔහු අප‍්‍රාණික කුඩා පාද දෙකක් සහිතව උත්පත්තිය ලබා ඇත. ඔහුට ඇවිදීමට නොහැකිය. එහෙත් ඔහු ශක්තිමත්, බුද්ධිමත් බවින් පිරිපුන් බව ආනන්ද සමග ගත කළ හෝරා කිහිපයේදී අපි වටහා ගත්තෙමු.
මේ අපූරු කාර්මික ශිල්පියාගේ මව වන ඉලන්දාරි පුරගේ රසලින් (73* මහත්මියගෙන් අපි පළමුව විමසා සිටියෙමු. ඇය මෙසේ පැවසුවාය.
අපේ ගම මාතර තිහගොඩ. මම විවාහ වුණේ හිතූ මනාපයට, අම්මාගේ අයියාගේ පුතා ඇවැස්ස මස්සිනා සමග. එයා නමින් ලහදුපුරගේ මරතේනිස්. ගනිසම වැඩකළ කෙනෙක්. මේ වන විට මිය ගිහිල්ලා. රස්සාව නිසා 1966 අපි සූරියවැවට ආවා. කුඩා ඉඩම් කැබැල්ලක පදිංචි වී සිටියා. මට පුතාල තුනයි දුවලා තුනක් ඉන්නවා. පුතාලා දෙන්නෙකුයි එක් දුවකුයි ආබාධ සහිතයි. එක් අයෙක් මිය ගියා. බාලම පුතා තමයි ආනන්ද. අක්ක සෝභනී.
මේ දෙන්නා ආබාධිත බවින් මුදාගන්න ලංකාවේ යන්න තිබුණු හැම රෝහලකටම ගියා. ඒ වගේම සිංහල වෙද මහත්වරුන් හමුවට ගියා. එයාලා කවුරුත් කීවේ මේ ළමයින්ගේ අස්ථි කෙටි ඒවා බැවින් ශල්‍යකර්ම කරලාවත් ඇවිද ගන්න තත්ත්වයට ගන්න බැහැ කියායි. ගෙදර තියාගෙන හදා වඩා ගෙන ඉන්නවා. කවුරුත් මගේ දරුවොනේ. කුඩා ගාමන්ට් එකක් තිබුණා සූරියවැව. මගේ ලොකු දුව ඒකෙ වැඩට ගියා. බාලම මල්ලී ආනන්දට එයාගේ පඩියෙන් කුඩා රේඩියෝ එකක් ගෙනත් දුන්නා.
මේක තුරුළු කර ගෙන කරකවනවා, අහනවා, කඩනවා, හදනවා. ඔය අතරෙදි ආබාධිත අය පිළිබඳ සොයා බලන ආයතනයක මහත්මයෙක් ආවා. ඒ මහත්තයාට පුතා කීවා මට මේ රේඩියෝ එක කඩලා හදන්න උගන්වන්න කියලා. ඒ මහත්තයා හිනාවෙලා කීවා බලමු කියලා. ඊට පසු දිනක මිරිජ්ජවිල කාර්මික විද්‍යාලයට එක්ක ගියා. භාරගන්න බැහැ කීවා.
ඊට පසු එහි තිබුණු කාර්මික පරීක්ෂණයකට එක්ක ගියා. එහි පළමු තැන ලැබුණා. ඊට පසු පරීක්ෂණ දෙකක් තිබුණා. දිස්ත‍්‍රික්, පළාත්, සමස්ථ ලංකා තරග තුනම පළමු වැනියා ලෙස ජය ලැබුවා. ඊට පසු ජපානයට යන්න ශිෂ්‍යත්වයක් ලැබිලා. මුල සිටම මේ උදවු කරන්නේ අර ඉස්සෙල්ලා ගෙදරට ආපු මහත්තයා. මම නම දන්නේ නැහැ. පුතා තමයි එයා සමග කතා කරන්නේ. ඒ මහත්තයා ඇවිත් ආනන්ද පුතාගෙන් ඇහුවා ඔයාට ජපන් යන්න පුළුවන්. ජපන් යනවාද, ගෙදර දොර හදාගෙන ඉන්නවාද කියලා. පුතා කිවුවා මට ජපන් යන්න ඕනෑ කියලා. ඊට පසු අර මහත්තයා ජපානයේ තරගයකට මමත් සමග පුතා එක්ක ගියා. මහා ශාලාවක තමයි ඒ තරගය තිබුණේ. එම තරගයට රටවල්වලින් 40ක් පමණ පැමිණ සිටියා. ඒ හැම කෙනෙක්ම කොහොම හරි යන්න එන්න නැගිටින්න පුළුවන් අය.
මගේ පුතාට ඒ මොකුත් බැහැ. මේස දෙකක් උඩ මොනවද කෑලි ගොඩත් තියලා පුතා එතන තියලා වෙලාවක් දීලා තිබුණා ඒ උපකරණ හදන්න.
පුළුවන් අය දුවලා පැනලා ඒවා හැදුවා. පුතාට වෙලාව මදි වුණා. ඒ නිසා පළමු තැන ගන්න බැරි වුණා. නමුත් හොඳ සහතිකයක් ලැබුණා. දින 10ක් විතර අපි ජපානයේ හිටියා. නමුත් ඒ ගමනට අපෙන් ශත පහක්වත් වියදම් වුණේ නැහැ. දැන් ඉතින් පුතා කුඩා ව්‍යාපාරයක් කරගෙන යනවා. අපිට පුංචි කඩ කාමර දෙකයි තියෙන්නේ. එක කාමරයක මම බුලත්විට තේ කහට ටිකක් විකුණනවා. ඒකෙන් තමයි ජීවිකාව ගෙනයන්නේ. මේ ඉන්න කඩ කාමර දෙක මුළුමනින්ම මහ පාරට යනවා.
ආණ්ඩුවෙන් ඇවිල්ලා මැනලා තියෙන්නේ. පාර දිගට ගෙවල් දොරවල් යනවා. ඒවාට ලක්ෂ තිහ විසි පහ දෙනවා. අපිට ලක්ෂ 18 යි දෙන්නේ. අපිට ගෙයක් හදාගන්න අත්තිවාරම දා ගන්නත් මදි. අපිට නිලධාරී මහත්වරුන් හමුවෙන්න යන්න එන්න කෙනෙක් නැහැ. ඒ නිසා තමයි අඩු සැලකිලි. මගේ ස්වාමි පුරුෂයා මිය ගිහිල්ලා අවුරුදු 15 පමණ වෙනවා. පොඩි ගෙයක් හදා ගන්න ප‍්‍රාදේශීය සභාව අවසර දුන්නා. රුපියල් 40000ක් දීලා ප්ලෑන් එක හැදුවා.
මහවැලි අධිකාරිය කියනවා ගෙවල් හදන්න දෙන්න බැහැ කියලා. එතනත් අපි අසරණයි. මේ ආබාධිත දරුවො ගැන සොයා බලාවත් අපිට උදවු කරන්න කියා ඉල්ලා සිටිනවා.

ආබාධිත ආනන්ද මෙසේද පැවසීය.
මම දැන් මගේ කියලා ව්‍යාපාරයක් කරගෙන යනවා. අක්කා මට උදවු කරනවා. වැඩත් එනවා. අවශ්‍ය උපකරණ ගේන්න ගාල්ල මාතර ඇඹිලිටිය වැනි පළාත් වලටමම යනවා.
වීල් එකක් කතා කරගෙන. එහෙම තමයි ජීවිතය ගෙනි යන්නේ. මගේ මේ දැණුම පිළිබඳව මට කියන්න තේරෙන්නේ නැහැ. මට මොළයට කියනවා මේක මෙහෙමයි කියලා. ඒ අනුව හැම දෙයක්ම ලෝකේ මොන තරම් නිෂ්පාදනයක් ආවත් මට පුළුවන් ඒ තාක්ෂණය මොකක්ද කියලා හොයාගෙන රටේ උපාංග හොයා ගෙන අලූත්වැඩියා කරනවා. මගේ අම්මා තමයි අදටත් මාව නාවලා, කවලා පොවලා හදන්නේ. මම නිසා අම්මා ගතින් සිතින් දුක් විදිනවා.
මොනවා කරන්නද. මගේ සෝභනී අක්කත් ආබාධිතයි. එයාට මොකුත් බැහැ. ගේන රේඩියෝ, ටීවී, ඉලෙක්ට්‍රොනික් උපකරන කෑලි වලට ගලවා දෙනවා. මම හදනවා. අක්කාටත් දැන් එහි උපාංග ටිකක් හදුනා ගන්න පුළුවන්. ඉතින් මහත්තයෝ මොළේ තිබුණට මදි යහපත් ශරීරයකුත් තිබුණානම් අපිට පුළුවන් ලෝකෙම ජය ගන්න. තව එකක කිය්න් ඕනි.
මම ආදර්ශයට අරගෙන මගේ පිංතූර දාලා ‘මවුත්’ කියලා චිත‍්‍රපටියක් හදලා. මම දන්නෙත් නැහැ කවුද හැදුවේ කියලා. අන්තර් ජාලයෙන් මමත් බැලූ‍වා. ඒකෙ තියෙන්නේ මගේ පිංතූරයට හැම දේකදිම හැම වෙලාවෙලාවෙම කවුරුත් ඇවිත් සැලියුට් ගහනවා. මොකක්ද මන්දා මහත්තයො. මේ ව්‍යාපාරය දියුණු කර ගන්න කවුරු හරි උදවුවක් කළොත් අපි වගේ අයට කරන ලොකු සේවයක් වෙනවා.

ආබාධිත ආනන්ද 0712686440 දුරකථනයෙන් සම්බන්ධ කරගත හැක. කිත්සිරි මහත්මා 0712750013 දුරකථනයෙන් සම්බන්ධ කර ගත හැකිය.

උපුටා ගැනීම – දිවයින පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!