Gossip

කොහොමටත් මම වේදිකාව උඩදී අමුතු චරිතයක්. ඕඩියන්ස් එකත් එක්ක මගේ තිබුණේ බොහොම සමීප ගනුදෙනුවක් – කොරින් අල්මේදා

සමර්සෙට්’ සංගීත කණ්ඩායමේ ප්‍රධාන ගායන ශිල්පිනිය වූ ඒ අතීතයට යමින් මේ කතාබහ ආරම්භ කළොත්….?

සමර්සෙට්’ සංගීත කණ්ඩායමේ නියාමන ගායන ශිල්පිනිය වෙමින් ඉන්ටර්කොන්ටිනන්ටල් සහ ඔබරෝයි ඇතුළු තරු පන්තියේ හෝටල්වලදී මා භාෂා දෙකෙන්ම ගීත ගැයුවා. බොහොම ඉහළ ප්‍රතිචාර ලැබුවා. ඒ අතරතුර මට ප්‍රසංග වේදිකාවටත් එක්වීමට අවස්ථාව උදා වුණා. සංගීත කණ්ඩායම් කිහිපයක් සමගම ගීත ගායනා කරමින් සංගීත ලෝකයේ ඉහළටම පැමිණි ගමන මට දෙවියන් වහන්සේගෙන් ලැබුණු දායාදයක් වුණා.

ඔබ මුල් අවධියේදී ප්‍රවීණ ගායන ශිල්පිනි ඉන්ද්‍රානි පෙරේරා මහත්මියගේ ගීත ගයනවා.
ඔව්. මම එතුමියගේ ‘අම්මා’ ඇතුළු ගීත කිහිපයක් ගායනා කළා. ‘ඇබා’ සංගීත කණ්ඩායමේ ගීත ඇතුළුව ඉංගී‍්‍රසි ගීත රැසක් ගායනා කළා. වේග රිද්මයට බර වූ ගීත ගායනා කළේ ප්‍රසංග වේදිකාව වෙනුවෙන්. කොහොමටත් මම වේදිකාව උඩදී අමුතු චරිතයක්. ඕඩියන්ස් එකත් එක්ක මගේ තිබුණේ බොහොම සමීප ගනුදෙනුවක්. මම ගීත ගයමින් ඔවුන් සමඟ කතා කරනවා. නර්තනයේ යෙදෙනවා. බොහොම විනෝද ජනක ලෙස වේදිකාව වෙනසකට ලක් කරන්න මට හැකියාව ලැබුණා. ඒ වෙනසට රසිකයෝ මට ආදරය කළා. මමත් එහෙමයි.

මේ උදා වී ඇති නත්තල් සමයේදී ඔබ කාර්යබහුල ගායන ශිල්පිනියක්.
ඔව්. නත්තල් මාසයේදී හුඟක් තැන්වල් මගේ ගීත වැඩිපුර ඇසෙනවා. මම නත්තල වෙනුවෙන් ගීත රැසක් ගායනා කර තිබෙනවා. ඒ ගීත පරණ වුණත් සෑම නත්තලකම මගේ හඬ ඇසීම ලොකු සතුටක්. මම නත්තල වෙනුවෙන් සිංහල සහ ඉංගී‍්‍රසි භාෂා ද්විත්වයෙන්ම ගීත ගායනා කළා. ‘කලකට පෙර බෙත්ලෙහෙමේ’, ‘නමෝ මරියනි’, ‘ටයිට් ක්‍රිස්මස්’, ‘සිල්වර් බෙල්ස්’ ඇතුළු ගීත සහ ජිප්සීස් ලේබලයෙන් ගැසූ තවත් ගීත රැසක් නත්තල් සමයේදී ඇසෙනවා. ඒ වගේම ප්‍රසංග වේදිකාව නිසා මේ සමයේදී මා කාර්යබහුලයි.

ඉකුත් මාසයේදී ඔබ ගීත කිහිපයක් එළිදැක්වූ බව පැවසුවා.
ඔව්. මම එම ගීත කිහිපය එළිදැක්වූවේ දෙවියන්ට ප්‍රශංසා කිරීම සහ ස්තූතිවන්ත වීම වෙනුවෙන්. මගේ කාර්යබහුලත්වය නිසාත් මට මේ වැඬේ කරන්න ප්‍රමාද වුණා. කොහොමටත් දෙවියන් වෙනුවෙන් දෙයක් කරනකොට බාධක එනවා. නමුත් මම ඒ සියල්ල ජය ගත්තා. ‘ඩිමෝෂන් වයි කොරින්’ නමින් එළිදැක්වූ ගීත 8 න් 7 ක්ම කලින් කරපු ඒවා. මේ ගීත 8ම ඉංගී‍්‍රසි භාෂාවෙන් ගායනා කරපුවා. මේ සී.ඞී. පටය මම තනිවම නිර්මාණය කරලා රසිකයන්ට ලබා දුන්නේ නොමිලයේ. මම ඒ ගැන හුඟක් සතුටු වෙනවා.

ඔබ ගැයූ ගීත කිහිපයක් අපේ මතකයන් අතර සදාකාලික වී තිබෙනවා. ඒ පිළිබඳව යමක් පැවසුවොත්….
ඇත්ත. මගේ හඬත් ඒ ගීතවලින් කියැවුණු අරුතත් නිසා රසිකයන් එම ගීත ආදරයෙන් වැළඳ ගත්තා කියා මා විශ්වාස කරනවා. ‘ගීයකින් කෙසේ කියමි සිතුම් ලයේ’, ‘කැදැල්ලෙ ඇතිවූ කිරිල්ලී මගේ’, ‘මා සමිඳේ පවින් මිදුනට’, ‘ මගෙ සුදු කෙල්ලේ’, ‘මගේ කොණ්ඩෙ නැතත් ඉනගාවට’ ඇතුළු ගීත බොහොමයක් ඒ අතර තිබෙනවා. වේග රිද්මයත්, ඉංගී‍්‍රසි ගීතත් මම ගායනා කළ ශෛලියට මිනිස්සු ආදරය කළා. ඒ වගේ ගීත වැඩිපුර ගායනා කළේ ප්‍රසංග වේදිකාවේදී. ඒ වගේම මම අනිකුත් ගීතත් ගායනා කරලා මට විවිධත්වයක් තිබෙන බව පෙන්වූවා.

අපේ ගීත කලාවේ ඉදිරිය පිළිබඳව ඔබ සිතන්නෙ කුමනාකාරවද?
අපිට හොඳ දක්ෂ පරපුරක් ඉන්න බව දකිනවා. නමුත් ලෝකය ගෝලාකාර වුණාට මිනිස්සු විවිධාකාරයිනේ. ඒ නිසා ඒ අය ගැන විවිධ මැනුම් මා තුළත් තිබෙනවා. අලූත් දෙයක් පැමිණෙන එක හොඳයි. නමුත් අපේ රටේ බොහෝ විට සිදු වෙන්නේ බටහිර කොපි කිරීම. ඒකත් වැරදි නැහැ. හැබැයි අපේ අයගේ හැකියාව සහ දක්ෂතාව නිවැරදිව හඳුනාගත යුතුයි. නමුත් මට දුකක් තියෙන්නෙ අපේ සමහර නවකයන්ට පැවැත්මක් නැති එක ගැන. ඒ අයගේ රඳා පැවැත්ම වෙනුවෙන් ක්‍රියාත්මක වීමට හරි මැනේජ්මන්ට් එකක් නැහැ. කොහොම වුණත් මම දකින්නෙ ගායනයෙන් ඉදිරියට යනවා නම් එහි වෘත්තීමය තත්ත්වයට පත් වෙන්න උත්සාහ ගත යුතු බවයි. වේලාවට වැඩ කිරීමත් වැදගත්.

ඔය කිව්වට අද බොහෝ ගායන ශිල්පීන්ට වෘත්තීමය තත්ත්වයක් හෝ නිසි පිළිගැනීමක් නැහැ නේද?
නැහැ. මෙහෙමනේ. තමුන්ගේ වටිනාකම සලකුණු කර ගන්න තමන් දැනගත යුතුයි. මම ඒ වටිනාකම ලබාගෙන තිියනවා. ඒ වගේම මට මිලක් කියනවා. බොහෝ අවස්ථාවලදී මට සරිලන මිල නොලැබෙනවා නම් මම ඒ වැඬේ අතහරිනවා. හැබැයි මට ඒ මිල දෙන්න අපහසු අය වෙනුවෙන් නම්‍යශීලී වෙන්නත් මම පසුබට වෙන්නේ නැහැ. අපි අපිට හොඳ මිලක් කියන්න නම් අපි ගැනම හොඳ ආත්ම විශ්වාසයක් ඇති කර ගත යුතුයි.

ගීත ගැයීම වෙනුවෙන් ලැබුණු පළමු තෑග්ග කවදාවත් අමතක වෙන්නෙ නැහැ කිව්වා නේද?
ඔව්නේ. එතකොට මට වයස අවුරුදු 9 ක් විතර ඇති. එදා ඉදිරිපත් වූ ගීත තරගයකින් ජයගත් මට තෑග්ග හැටියට ලැබුණේ  චොක්ලට් පෙට්ටියක්. ඒක බොහොම රසවත් තෑග්ගක් නිසා මගේ සිත සතුටින් පිරී ගියා. අදටත් ඒක අමතක වෙන්නේ නැහැ

ඔබ ගැයූ ගීත අන්තර්ගත කර සංයුක්ත තැටි දෙකක් එළි දැක්වූවා. නැවත එවැන්නකට තිබෙන සූදානම මොන විදිහද?
‘අලූත් දෙයක්’ සහ ‘යොවුන් වසන්තේ’ නමින් මා එළිදැක්වූ ගීත ඇල්බම දෙක රසිකයන් අතර ප්‍රසාදයට පත් වුණා. ඊට අමතරව මම ගීත බොහොමයක් ගායනා කළා. නමුත් එක දිගට ගීත ඇල්බම් කරන්න මා පෙළඹුනේ නැහැ. නමුත් ලබන වසරේ මුල් මාසයේදී මගේ නවතම ගීතය රසිකයනට ලබා දෙන්න සූදානම්ව සිටිනවා. සමහර විට ඒ ගීතය ‘හොරැයින් එදා’ නමින් ඇසෙන්නට පුළුවන්.

වේදිකාවේ ගීත ගයමින්, රංගනයේ යෙදෙමින් අපේ රසිකයන් අමන්දානන්දයට පත් කළ ඔබ, ගායන ශිල්පිනියක ලෙස අද ගෙවන ජීවිතය කුමනාකාරද..?මා ඉතාමත් සතුටින් තෘප්තිමත්ව සිටින කලා ශිල්පිිනයක් කියලා කියන්න සතුටුයි. මගෙ ජීවිතයේ හැමදේම ඇත්තෙ සුබවාදීව. මගේ හැකියාව මගේ ජීවිතය සුන්දර කරලා දුන්නා කියලා මම විශ්වාස කරනවා. මම කා එක්කවත් තරහ නෑ. ප්‍රශ්න තියනවා නම් ඒවා එවලේම ඉවර කර ගන්නවා හැර ඇදගෙන යෑමේ පුරුද්දක් මට නැහැ. කොහොම වුණත් මේ ජීවිතය මෙතරම් සතුටින් විඳින්න අවස්ථාව සලසා දුන්නාට මම නැවත වරක් දෙවියන් වහන්සේට ස්තුති කරනවා.

ගීත ගයමින් සමාජ සේවාවන්හීත් නියැළෙන ඔබ දැන් යෝගිනියක් කියලා ආරංචියි…?
ඔව්. ප්‍රවීණ කලා ශිල්පිනි අනෝජා වීරසිංහ මහත්මියගේ ‘අභින’ හරහා මම ඒ අධ්‍යාත්මික පැත්තට බරට කටයුතු කරනවා. කොපමණ වැඩ තිබුණත් සතියේ දින හතරක් ඒ වෙනුවෙන් වෙන්කර තිබෙනවා. මෙතනදී ජීවිතයට අවශ්‍ය බොහෝ දේ උගත හැකියි. හුඟක් අය හිතනවා ‘යෝගා’ කියන්නේ බුද්ධාගමට අයත් දෙයක් කියලා. නැහැ ඒක එහෙම නෙවී. මම ක්‍රිස්තියාණු වුවත් භාවනාව කියන්නේ සිතේ ඒකාග්‍රතාව පවත්වාගෙන යෑම කියන එක මම මේ හරහා හදාරනු ලැබුවා. ඒක හරියට තමුන්ගේ ශාස්තෘවරයා වගේ. මම මේ හරහා දෙවියන් වහන්සේට තවත් ළං වුණා කියලත් සිතනවා. කොහොම වුණත් ජීවිතය සතුටින් විඳින්න නම් තමන් මුලින් තමන්ට ආදරය කළ යුතුයි. ඊට පස්සෙ තමයි ඒ ආදරය අනිත් අයටත් බෙදා හැරිය යුත්තේ. මගේ ජීවිතය කියන පඩිපෙළ මම නැග්ගේ එකින් එක පිළිවෙළට. කවදාවත් මම පඩි කිහිපයක් මඟ හැර පැන පැන ගියේ නැහැ. අන්න ඒක තමයි මගේ ජීවිතයේ සාර්ථකත්වය.

ඔබේ පවුලේ තොරතුරු?
මට එක පුතයි ඔහු බ්‍රැන්ඩන් ඉංග්රම්. ඔහු පුද්ගලික අංශයේ විධාක නිලධාරියකු ලෙස සේවය කරනවා. ගීත ගායනයට රඟපෑමට සහ පත පොත ලිවීමටත් ඔහු දක්ෂතා දක්වා තිබෙනවා. ඉංගී‍්‍රසි නාට්‍ය කිහිපයක රඟපෑවා. ඉන්දීය චිත්‍රපටයක ප්‍රධාන චරිතයට පණ පොවන්න ඔහුට අවස්ථාව ලැබුණා.

නත්තල වෙනුවෙන් ඔබේ රසිකයන්ට විශේෂ පණිවිඩයක් දිය යුතු බව පැවසුවා.
ඇත්තෙන්ම ඔව්. මම ආ ගමනේ ප්‍රධාන සාධකය වුණේ මගේ ආදරණීය රසික ජනතාව. ඉතින් මම ඒ අයටත් මගේ ගායන ජීවිතය වෙනුවෙන් අතහිත දුන් සෑම සියලූ දෙනාටත් සාමය, සතුට පිරුණු සුබම සුබ නත්තලක් වේවා කියා සුබ පතන්න මෙය අවස්ථාව කර ගන්න කැමැතියි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!